මුද්‍රණය සඳහා

 
හිටපු මන්ත්‍රී මහේෂ්වරන්ගේ ඝාතකයා පෝරකයට

හිටපු මන්ත්‍රී මහේෂ්වරන්ගේ ඝාතකයා පෝරකයට

කොටහේන සිවන් කෝවිලේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා ‍වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ප්‍රධාන චූදිතට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ(27) මරණ දඬුවම නියම කෙළේය.

ජෝන් පොලින් වැලින්ටන් නමැති මෙම චූදිත ජනාධිපතිතුමා නියම කරන දිනයක වේලාවකදී වැලිකඩ බන්ධනාගාරයේ දී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට විනිසුරුවරයා ඊයේ නියම කරන ලදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා 2008 වසරේ ජනවාරි මස 1 වැනිදා උදෑසන කොටහේන සිවන් කෝවිලේ පැවති පූජාවට සහභාගි වී ආපසු යෑම සඳහා කෝවිලෙන් පිටවීමට සූදානම් වූ අවස්ථාවේ කෝවිලේ ප්‍රධාන දොරටුව අසලදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

2008 වසරේ ජනවාරි මස 1 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හා කෝවිලේ පූජාවට සහභාගි වූ චන්ද්‍ර කුමාර් මහින්දන් නමැත්තා ඝාතනය කිරීම යන චෝදන මත නීතිපතිවරයා විසින් චූදිතට විරුද්ධව අධිචෝදනා ගොනුකර තිබුණි.

චන්ද්‍ර කුමාර් මහින්දන් නමැත්තා ව චූදිත විසින් වෙඩිතබා ඝාතනය කළ බවට චූදිතට විරුද්ධව කිසිදු සාක්කි ඉදිරිපත් වී නොමැති බව ඊයේ ප්‍රකාශ කළ විනිසුරුවරයා එම චෝදනාවෙන් චූදිත නිදහස් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතාට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චූදිත වරදකරු කරන බවට ප්‍රකාශ කළේය.

චූදිතයා ටී. මහේෂ්වරන් මහතාට වෙඩි තැබූ බවට ඇසින් දුටු සාක්කි දෙකක් මගින් හා පරිවේෂණීය සාක්කි මගින් සනාථ කර ඇති බව පිටු 150කින් යුත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

තවද ප්‍රබල සාක්කියක් වූ ඩී. එන්. ඒ. පරික්ෂණය මගින් චූදිත මහේෂ්වරන් මහතාට වෙඩි තැබූ පිස්තෝලයේ තැවරී තිබූ ලේ චූදිතගේ ලේ සමඟ සැස‍ඳෙන බවට සනාථ කර ඇතැයිද විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේය.

ඇඟිල්ලකට එල්ල වූ වෙඩි පහරකින් චූදිතගේ ඇඟිල්ල තුවාල වීම නිසා ඔහුගේ අත වූ පිසතෝලයේ එම ලේ තැවරී ඇති බවද තීන්දුවේ සඳහන් වෙයි.

ඊයේ දඬුවම් නියම කිරීමට ප්‍රථමයෙන් පැවසීමට කිසිවක් ඇද්දැයි විනිසුරුවරයා විමසූ අවස්ථාවේ චූදිත ප්‍රකාශ කර සිටියේ තමාමේ සිද්ධියට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

ඉන් අනතුරුව අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවාදමා විනිසුරුවරයා විසින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තීන්දුවට අත්සන් තබා පෑන කඩා දමන ලදී.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ තුෂාර කුමාරගේ මහතා පැමිණිල්ල මෙහෙය වීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]