‘අභිමාන’ බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජය

‘අභිමාන’ බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජය

ශ්‍රී ලංකාවාසී අප සැම වෙනුවෙන් සහ රටේ අභිවෘද්ධිය සඳහා මුළු මහත් දේශයටම ජීවය සපයන රාජ්‍ය සේවයේ අභිමානවත් පුරවැසියන්ගේ උදාරතර මෙහෙවර ඇගයීමට ලක් කරමින්

ශ්‍රී ලංකා ටෙලිකොම් “අභිමාන” විශේෂ බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව හඳුන්වා දෙයි. රටේ අභිමානය නංවන්නට අපිටම ආවේණික සංස්කෘතියට ගරු කරමින් රාජ්‍ය සේවය සිදුකරන මෙහෙවර අතිමහත්ය. අභිමානය, අනන්‍යතාව සහ සෞන්දර්ය නිරූපණයක් වූ ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය “නිල් මානෙල්” මලෙන් මෙම නව අභිමාන පැකේජය සංකේතවත් කෙරෙන්නේ එබැවිනි. නව යුගයක් පිබිදුම සඳහා යුගයේ ප්‍රමුඛයන් ලෙස කටයුතු කරන පිරිස සහ පැකේජයේ වටිනාකම එහි මල් පෙති අතරින් අර්ථවත් කෙරේ.

මෙම පැකේජය හඳුන්වාදීමේ අරමුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති නිමල් වෙල්ගම මහතා මෙසේ සඳහන් කළේ ය. “තොරතුරු හා සන්නිවේදන සේවාවන් ශ්‍රී‍ ලංකාවේ සියලු දෙනා වෙත ලබාදීමේ දැනුම් කේන්ද්‍රීය සංවර්ධනයක් අපේක්ෂා කරන මහින්ද චින්තන ඉදිරි දැක්මට එක්වෙමින්, අපි මේ නව පැකේජය රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා හඳුන්වා දෙනවා. අපේ රටේ ආර්ථික දියුණුවට තොරතුරු හා තාක්ෂණ අංශයේ සංවර්ධන ඉතාම වැදගත්. රජය “ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය” සවිබල ගන්වන්නේ ඒ අරමුණට ළඟාවීමටයි. 2015 වසර වන විට ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයේ ඉහළම ඵල ලබාදීමේ රජයේ මහඟු කාර්යය මල්ඵල ගැන්වීම සඳහා, මේ නව පැකේජය දිරියක් සහ බලයක් සපයන බව අපේ විශ්වාසයයි. එවිට ගම් සහ නගර භේද නොමැතිව සියලු දෙනාටම එක සේ තොරතුරු තාක්ෂණය සමගින් පෙරට ආ හැකියි”.

ශ්‍රී ලංකාවට බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියා වන ජාතික සන්නිවේදන සමාගම ලෙස රටේ අනාගත සංවර්ධනය සඳහා ඉහළම දායකත්වය ලබාදෙන අරමුණ ඇතිව ශ්‍රී‍ ලංකා ටෙලිකොම් සමාගම සැමදා කැපවෙන බව ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙග් යංග් මහතා පවසයි. මහා පරිමාණ පෞද්ගලික ව්‍යාපාර මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත්, රටේ මහා පරිමාණ නව ව්‍යාපෘති සඳහාත් සන්නිවේදන සේවා සපයන ශ්‍රී‍ ලංකා ටෙලිකොම් සමාගමට, රාජ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන්ද සුවිශේෂ පැකේජයක් ඛ්ඳුන්වා දීමට ලැබීම සතුටට කරුණක් බවද ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසයි.

ශ්‍රී‍ ලංකා ටෙලිකොම් ප්‍රධාන වෙළඳ නිලධාරි රොෂාන් කළුආරච්චි මහතා පවසන්නේ රු. 390/- ක ආකර්ෂණීය මාසික ගාස්තුවක් යටතේ ලබාදෙන “අභිමාන” බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජය සඳහා මාසිකව 1.5GB  ධාරිතාවක් සමඟ 0.5GB  අමතර ධාරිතාවක් නොමිලේ හිමි වන බවයි. 2Mbps දක්වා වූ ඩවුන්ලෝඩ් වේගයකින්ද 512Mbps වූ අප්ලෝඩ් වේගයකින්ද සමන්විත මෙම “අභිමාන” පැකේජය සමඟ රු. 6,990/- ක් වටිනා වයර්ලස් රවුටරයක් රු. 1,990/-ක් වැනි සුවිශේෂ මිලකට ලබාගත හැකි අතර, ඊ මේල් ගිණුම් 03ක් සහ 2MB වෙබ් අවකාශයක්ද නොමිලේ හිමිවෙයි. SLT මෙගාලයින් දුරකථනය හරහා සුපැහැදිලි හඬින් ලොව පුරා ඇමතුම් ලබාදෙමින්, ඔබ කැමති ලෙස හැසිරවිය හැකි Peo TV නව්‍ය රූපවාහිනි අත්දැකීමද ලබාදෙන අතර ලක්ෂ තුනකට අධික නොනවතින, අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා හිමිකර දෙයි. ඒ අතරට තවත් දස දහස් සංඛ්‍යාත පිරිසක් එක්කරන නව “අභිමාන” නොනවතින අන්තර්ජාල සේවාව රාජ්‍ය සේවයේ නියුක්තව සිටින අයට මෙන්ම විශ්‍රාමික රජයේ සේවකයන්ටද ලබාගැනීමට අවස්ථාව උදාකර දී ඇති බවද කළුආරච්චි මහතා වැඩිදුරටත් පවසයි.

වෙළඳපළට අලුතින් හඳුන්වාදෙන මෙම “අභිමාන” පැකේජය පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් දිවයින පුරා ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාල මට්ටමින් පැවැත්වීමට ශශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පියවර ගෙන ඇත. එම ප්‍රවර්ධන වැඩසටහන් තුළින් රාජ්‍ය සේවකයන්ට මෙම පැකේජය ලබාගැනීමේ වැදගත්කම පෙන්වා දෙන අතර පැකේජය ලබාගන්නා ආකාරය සහ එමගින් ඔවුන්ට අත්විඳිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ද පැහැදිලි කරදෙනු ලැබේ.

“අභිමාන” බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව ඔබ වෙත ගෙන එන්නේ SLT මෙගාලයින් බලගැන්වීමෙනි. SLT මෙගාලයින්, එකම සම්බන්ධතාවක් හරහා දුරකථන සේවා, අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ Peo TV ඔබ වෙත ගෙන එයි. ශ්‍රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ දැනුමින් පිරිපුන් සමාජයක් බිහි කිරීමේ රජයේ අරමුණ සමඟ අත්වැල් බැඳගනිමින් වඩා පුළුල් ලෙස ජාතික තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන දැක්ම ඉදිරියට රැගෙන යාමේ ගමන් මගට, ඔබ සමඟ එක්ව සහයෝගය ලබාදීම ශ්‍රී‍ ලංකා ටෙලිකොම්හි අරමුණයි.

රාජ්‍ය සේවකයන්ට සිය ජාතික හැඳුනුම්පත සමඟ සේවය තහවුරු කිරීමේ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් සහ විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට සිය ජාතික හැඳුනුම්පත සමඟ විශ්‍රාමික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ළඟම ඇති ප්‍රාදේශීය ටෙලිකොම් කාර්යාලයෙන් හෝ ටෙලිෂොප් ශාඛාවෙන් “අභිමාන, පැකේජය ලබාගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා