ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ ඉතිහාසයේ දැවැන්තම ජය ලබති

ආසියානු ශූරතාවලියක කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ ඉතිහාසයේ දැවැන්තම ජය ලබති

මිනිත්තුවකට ලකුණු 2යි: වැඩි ලකුණු 124යි

ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවෝ මෙරට ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කරමින් ලකුණු 127 - 3 කින් නේපාලය පරාජයට පත් කළහ. ආසියානු නෙට්බෝල් ශූරාවලියේ ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නේපාල තරගයේදී වැඩි ලකුණු 124කින් ජය වාර්තා කළ ශ්‍රී ලංකාවට සියලු ගෞරව හිමි විය.

මේ විශිෂ්ට ජයග්‍රහණය ආසියානු නෙට්බෝල් ශූරතාවලි ඉතිහාසයේදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය වේ.

ශ්‍රී ලංකාව මෙයට පෙර ජාත්‍යන්තර නෙට්බෝල් තරගයක හොඳම ලකුණු පරතරය සමඟ ජයග්‍රහණයක් වාර්තා කළේ 2009 ජුනි 24දා පාකිස්තානයට එරෙහිවය. පසුගිය ආසියානු ශූරතාවලිය පැවැති මැලේසියාවේදී පාකිස්තානය පරදා ශ්‍රී ලංකාව ලකුණු 102 - 12 කින් ජය වාර්තා කළේය. එම තරගාවලියේදීම ශ්‍රී ලංකාව ලකුණු 103 - 27 කින් ඉන්දියාව පරාජය කිරීමද විශිෂ්ට ජයක් ලෙස ඉතිහාසයේ සටහන්ව තිබේ.

ශ්‍රී ලංකා නේපාල අතර තරගයේදී ශ්‍රී ලංකාව පළමු කාර්තුවේදී ලකුණු 28 - 2 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. දෙවැනි හා තෙවැනි කාර්තුවලදී නේපාල ක්‍රීඩිකාවන්ට ලකුණු වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක වලල්ලෙන් ඉඩක් නොලැබුණි. තරගය අවසානවීමට මිනිත්තු 2ක් තිබියදී නේපාල ගෝල් ෂුටර් එස්. තාපා ලකුණක් වාර්තා කළාය. ඇයට හා ගෝල් ඇටෑක් එම්. ලුම්බුට ලැබුණු අවස්ථා 14න් 11ක්ම අසාර්ථක වීම නේපාලයේ දරුණු පරාජයට ප්‍රධාන හේතුවක් විය.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියට කෝඩුකාරයන් වූ නේපාල ක්‍රීඩිකාවෝ ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ඉදිරියේ මානසිකවද පරාජය වී තිබුණි. තරගය ආරම්භයේ සිටම තර්ජනී සිවලිංගම්ට උඩින් පන්දුව දමද්දී නේපාල ආරක්ෂක වලල්ල අන්දමන්ද වී ගියේය. එහි ප්‍රතිඵලයක් වූයේ ශ්‍රී ලංකාව ලකුණු 17ක් වෙද්දී නේපාලය ලකුණු 1ක් වීමය. ශ්‍රී ලංකාව කාර්තු හතරේදී පිළිවෙළින් ලකුණු 28-2, 34-0, 31-0 හා 34-1ක් ලබා වේගවත් ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළහ.

පැයකට සීමා වූ සම්පූර්ණ තරග කාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මිනිත්තුවකට ලකුණු 2ක සාමාන්‍ය වේගයක් රඳවා ගැනීම මෙහි ඇති විශේෂත්වයයි.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු ලබා ගැනීමට යොමු කිරීමේ අවස්ථා 147ක් ලැබී 127ක් සාර්ථක විය. වෙනදා සෑම යොමුකිරීමේ අවස්ථාවකදීම සාර්ථක වූ ශ්‍රී ලංකා ලකුණු මැෂිම තර්ජනී සිවලිංගම් අවස්ථා 68කදී 58ක් පමණක් සාර්ථක කර ගත්තාය.

තර්ජනී පළමු කාර්තු දෙකේදී පමණක් ක්‍රීඩා කළ අතර ඉතිරි කාර්තු දෙකේදී ගෝල් ෂුටර් වූ තිසාලා අල්ගම අවස්ථා 65කදී ලකුණු 58ක් ලබා ගත්තාය. කාර්තු 4ම ක්‍රීඩා කළ ගෝල් ඇටෑක් ක්‍රීඩිකා සෙමිණි අල්විස් අවස්ථා 14කදී ලකුණු 11ක් එක් කළාය.

මරීෂා ප්‍රනාන්දු, ධම්මිකා වික්‍රමසිංහ හා විශාඛා ජයසූරිය නේපාලයට පන්දුව ලබා ගැනීමට නොහැකි ආකාරයේ ප්‍රදර්ශනාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළහ.

සෙන්ටර් ක්‍රීඩිකා ගයාත්‍රි ලංකාතිලක තරගයේ මුල් කාර්තු දෙකේදී පමණක් එක්වූ අතර දීපිකා අබේකෝන්ට එම අවස්ථාව අනතුරුව උදා විය. ඇය වරෙක වින්ග් ඇටෑක් ක්‍රීඩිකාව ලෙසද ක්‍රීඩා කළාය.

ඊයේ පැවැති අනෙක් තරග ප්‍රතිඵල ‍මෙසේය.

සිංගප්පූරුව 111- පාකිස්තානය 2
‍හොංකොං 60 - ඉන්දියාව 29
මැලේසියාව 70 – මාලදිවයින 22

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා