ප්‍රභාකරන්, වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපනය

ප්‍රභාකරන්, වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපනය

ප්‍රභාකරන් නමැති මිනීමරුවා උතුරේ අධ්‍යාපනය විනාශ කළේ ය. නැඟෙනහිර අධ්‍යාපනය ද විනාශ කළේ ය. මීට දසක හතරකට පෙර රටේ හොඳ ම අධ්‍යාපනය පැවැතියේ උතුරේ ය, හෙවත් යාපනයේ ය. අධ්‍යාපන සංවර්ධනයේ නියැදි සකස් වූයේ ද යාපනයේ ආදර්ශයන් එකතු කර ගනිමින් ය. උතුරේ දෙමළ ජනතාවට තිබූ කදිම සම්පත වූයේ ද අධ්‍යාපනය ම ය. එහෙත් විධිමත් අධ්‍යාපනයක් නො ලද හා උගත්කමට ඊර්ෂ්‍යා කළ ප්‍රභාකරන් නමැති මෝඩ ත්‍රස්තවාදියා පළමු ව පහර දුන්නේ යාපනයේ පැවැති උසස් අධ්‍යාපනයට ය. ඔහුට ඒ සඳහා විදේශීය ආධාර ද නො අඩු ව ලැබිණි.

18 වන සියවසේ දී රටේ අඛණ්ඩ අධ්‍යාපන සම්ප්‍රදාය හා එහි අනන්‍යතාව බිඳ දැමුයේ ඉංග්‍රීසිකාරයා ය. ඔහු ඒ සඳහා යොදා ගත්තේ දියුණු උපාය මාර්ගයකි. එනම්; සුද්දාගේ පරිපාලනයට හා ආදායම් බදු එකතු කර ගැනීමට අවශ්‍ය පුද්ගලයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ය. දේශීය තාක්ෂණ දේශීය දැනුම හා අපගේ පාරම්පරික ඥානය බිඳ දමමින් ඉංග්‍රීසිකාරයාගේ අධ්‍යාපනය ස්ථාපිත විය. පසුව ඊට ලැබුණු ප්‍රතිසංස්කරණ මගින් දේශීය අධ්‍යාපනයට යම් නැඟීමක් නැවත ඇති විය. මෙහි තේරුම් ගත යුතු යථාර්ථය වන්නේ රටේ දියුණුවට අදාළ අධ්‍යාපන ක්‍රම විධි වෙනස් කිරීමට සුද්දාට වුවමනා වූ බව ය. නැවත ප්‍රභාකරන්ට ද වුවමනා වූ බව ය.

අද ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි පාලනයක් නැත. ප්‍රභාකරන්ගේ පාලනයක් ද නැත. එහෙත් ඉංග්‍රීසිකාරයා රටට බලපෑම් කරයි. ප්‍රභාකරන්ගේ සෙවණැලි ද රටට බලපෑම් කරයි. ඊට හොඳම නිදසුන මෑතක සිට රටේ අධ්‍යාපනයට හතර දෙසින් නැඟෙන ප්‍රහාරයන් ය. මේ ප්‍රහාරයන් පිටුපස විදේශීය බලවේග පවතී. වෘත්තීය සමිතිවල බලපෑම පවතී. මෙරට වෘත්තීය සමිතිවලින් බහුතරය පිටරට එන්.ජී.ඕ. සල්ලි මත යැපෙන බව බොහෝ දෙනා නො දනිති. ඔව්හු විදේශීය කුමන්ත්‍රණකාරයන්ගේ රූකඩ වෙති. බටහිර බලපෑම මෙරටට ගෙනෙන වාහක වෙති. රටේ සාමකාමී පරිසරය දෙදරවා හරිමින් බටහිර න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ එක ම ඉලක්කය වේ.

ඔවුන්ගේ අලුත් ම කුමන්ත්‍රණය පහේ ශිෂ්‍යත්ව විභාගය මුල් කොට ක්‍රියාත්මක වේ. පසුගිය විසිහය වන ඉරිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණි. සිංහල මෙන් ම දෙමළ මාධ්‍යයෙන් ද විභාගය සඳහා පෙනී සිටි පිරිස තුන් ලක්ෂය ඉක්මවා සිටිය හ. මේ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් විභාගයට කලින් නිකුත් වී ඇතැ’යි වෘත්තීය සමිති කියා සිටිති. මෙය අමූලික කෙප්පයක් බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පැහැදිලි සාක්ෂ්‍ය සහිත ව මේ කරුණ සනාථ කිරීමට වෘත්තීය සමිති සමත් වී නැත. විභාග ප්‍රශ්න පත්‍රය පිට වූ තැනක් නැත. ලබාගත් කෙනකු ද නැත. එහෙත් මෙබඳු බොරුවකින් රට ම කලඹන්නට පුළුවන. අධ්‍යාපනය කඩාකප්පල් කරන්නටත් පුළුවන. ඒ රාජකාරිය අධ්‍යාපනයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් හරියට ම කරගෙන යනු ලැබේ.

2011 අ.පො.ස උ.පෙ. විභාගය අවුලක් බවට පත් කළෝ ද මේ පිරිස ම ය. ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය මීට කලින් සාධාරණ ලෙස විසඳා ගැනීමට ඉඩ තිබිණි. වෘත්තීය සමිති එය අරගලයක් බවට පත් කළ හ. රට තුළ විශාල කැලඹීමක් ඇති කළ හ. අධිකරණයට ගිය හ. දැන් එම ප්‍රශ්නය දිග්ගැස්සී ඇත. 2012 අ.පො.ස. උ.පෙ. විභාගය අවුලක් කිරීමට ද ඔව්හු ම පියවර ගත්හ. අධ්‍යාපනය ගැන හෝ විභාග ගැන හෝ විධිමත් හැදෑරීමක් නැති සංගම්කාරයෝ සෑම ප්‍රශ්න පත්‍රයකින් ම අවුලක් ඇති කිරීමට උත්සාහ කළ හ. එහි ඉලක්කය වන්නේ ජාතික විභාග ක්‍රමය පිළිබඳ සැකයක් ඇති කොට අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ය. මේ කුමන්ත්‍රණයට සමහරු අසු වෙති.

ශ්‍රී ලංකාවේ බොහෝ වෘත්තීය සමිතිවල ඇත්තේ රැකියාව වෙනුවට වෘත්තීය සමිති කරගෙන යන පිරිස් ය. ඔවුන්ගෙන් වැඩි දෙනා විශ්‍රාම ගන්වන කාලය ද වයස ද ඉක්මවා සිටිති. අද ඔව්හු ධනපති දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර හා ඊට ම අනුබද්ධ බටහිර රටවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් බටහිර එන්.ජී.ඕ. සල්ලි සාක්කුවට දමා ගනිති. පැරැණි වම හා එහි ක්‍රියාධරයන් අද වෘත්තීය සමිතිවල නැත. කොටින් ම ඔවුන්ගේ එක ම අරමුණ තම බඩ වඩා ගැනීම පමණ ය. සමහරුන් ගේ මතයට අනුව මේ වෘත්තීය සමිති සියල්ල තහනම් කළ යුතු ය. විසිරුවා හැරිය යුතු ය. එම සංගම් වල නායකයනට එරෙහි ව නීතිමය පියවර ගත යුතු ය.

අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුට අයිතියක් නැත. දේශපාලකයනට, වෘත්තීය සමිතිකාරයනට ඇඟිලි ගැසිය හැකි නම්; අධ්‍යාපනය සඳහා විශේෂඥයන් අවශ්‍ය නැත. වෘත්තීය සමිති නියෝජනය කරන කිසිවකු අතර එකිනෙක විෂයයන් පිළිබඳ විශේෂඥයෝ සිටිත් ද? නැත. අධ්‍යාපන විශේෂඥයෝ සිටිත් ද? නැත. වෘත්තීය සිමිති නියෝජනය කරන වැඩි දෙනකුට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ද නැත. එහෙත් මේ වෘත්තීය සමිති ජාතික අධ්‍යාපනයේ තීරකයා ලෙස ක්‍රියා කිරීමට උත්සාහ දරති. එය විශාල වැරැද්දකි. රජය වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීත්වයට නිදහස ලබා දී තිබේ. එම නිදහසෙන් අයථා ලාබ ලැබීම අයුක්ති සහගත ය.

පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට පමණක් නො ව විශ්වවිද්‍යාල සිසුන්ගේ උසස් අධ්‍යාපනයට ද මොව්හු අත පොවති. එහි ප්‍රතිඵලයක් ලෙස සියලු ම විශ්වවිද්‍යාල දින නියමයක් නැති ව වසා දමන්නට ද රජයට සිදු වී තිබේ. අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් රටේ පවත්නා ආණ්ඩු වෙනස් කළ හැකි ය. සංවර්ධනය අඩාල කළ හැකි ය. රටේ තරුණ කැරැල්ලක් ඇති වීමට වුවමනා පරිසරය නිර්මාණය කිරීමට ද පුළුවන. වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ ඉහත කී සියල්ල ඇති කිරීමට උත්තේජකයන් ලෙස ය. ආණ්ඩු ව මේ සඳහා වහා ම පියවර ගත යුතු ය. සිදුවීමට යන ජාතික අපරාධය නැවැත්විය යුතු ය.

විසිවන සියවසේ විශිෂ්ට ම ධනපති ආර්ථික විශේෂඥයා ලෙසින් ප්‍රකට නො බෙල් ත්‍යාගලාභී ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් සිය මා හැඟි ග්‍රන්ථය වූ “ස්මෝල් ඊස් බියුටිෆුල්” නම් කෘතියේ දී කියා සිටියේ රටක සංවර්ධනයේ මුල් ගලක් ලෙස අධ්‍යාපනය පවතින බව ය. අධ්‍යාපනයක් හා විනයක් නැති තැන උසස් සමාජයක් බිහි නො වන බව ඔහුගේ විශ්වාසය විය. ලෝකය දෙස නිරීක්ෂණ ඇසින් බලන කළ ඔහුගේ ප්‍රකාශයෙහි පවත්නා යථා ව මැනැවින් වටහා ගත හැකි ය. අධ්‍යාපනය නැති කළ විශිෂ්ට නිෂ්පාදන ඇති වන්නේ නැත. විශිෂ්ට නිර්මාණ බිහි වන්නේ ද නැත. විනයක් ඇති වන්නේ ද නැත.

ආණ්ඩු ව මෙන්ම ජනතාව ද මේ තත්ත්වය හොඳින් වටහා ගත යුතු ය. අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පවතී. ඒ පිටුපස ඇත්තේ වෘත්තීය සමිති හා බටහිර බලවේගයන් ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා