ඡන්දය දිනන්න අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනෑ නෑ

ඡන්දය දිනන්න අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනෑ නෑ

දිලුම් අමුණුගම
මහනුවර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී

විසි වසරකට අධික කාලයක් එජාප බලකොටුවක්ව පැවැති මහනුවර සෙංකඩගල ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉහළින්ම ජය ගැනීමට හැකි වූයේ දිලුම් අමුණුගමගේ සංවිධායකත්වයෙනි. මේ නිසාම ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී, මිහින්තලය ආසනය සඳහා සන්ධාන රජයේ මැතිවරණ කටයුතු මෙහෙයවීම පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගමට පැවරිණි. තම දේශපාලන කටයුතුවල ඉදිරි දැක්ම සහ මිහින්තලයේ මැතිවරණ කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* පළාත් සභා 3ක මැතිවරණ උණුසුම ක්‍රමයෙන් ඉහළයමින් තිබෙනවා. නිදහස් සන්ධානයේ මැතිවරණ සූදානම කොහොමද?

විශේෂයෙන්ම කියන්න ඕනෑ මැතිවරණයක් සඳහා වත්මන් සන්ධාන රජයට විශේෂ සූදානමක් අවශ්‍ය වන්නේ නැති බව. කොයි මොහොතේ කවර ප්‍රදේශයක මැතිවරණයක් තිබ්බත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අපේ රජය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනවා.

* ඔබ එහෙම කියන්නෙ මොන සාධක මතද?

බලන්න අද ග්‍රාමීය මට්ටමේ ඉඳල සියලු නගර සහ අග නගරය දක්වාම සිදුවන සංවර්ධන ව්‍යාපෘති. මේ නිසා ජනතාවට ලැබිලා තියෙන පහසුව. අද ගමක් ගත්තත් එහි ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් යුතු මාර්ග පද්ධතියක් තියෙනවා. ජල ව්‍යාපෘති මගින් සෑම නිවසකටම ජලය සපයලා තියෙනවා.

ගම් දනව්වල පවා දිවෙන මාර්ග පද්ධතිය නිසා සෑම ගෙදරකටම වාහනයක් අඩුම ගණනේ ත්‍රීවීල් එකක් මෝටර් සයිකලයක් වත් තිබෙනවා. මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස්වෙලා තියෙනවා. එක පැත්තකින් එහෙම. අනෙක බලන්න මිනිස්සු අද අත්විඳින නිදහස වසර 30ක් යුද්ධයෙන්, ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක් අපි. එදා හිතට නිදහසක් තිබුණද? අනාගතයක් ගැන බලාපොරොත්තුවක් විශ්වාසයක් තිබුණාද?

* ඒවානම් ඉතින් දැන් පරණ කතානෙ?

පරණ කතා වුණත් දශකයක් නොවේ ශත වර්ෂයක් වුවත් ඒ අතීතය වළදාන්න කිසිම කෙනෙකුට බැහැ. ඒ දිනාදුන්න නිදහස අද වැඩියෙන්ම අත්විඳින්නෙ ඔය නැඟෙනහිර උතුරුමැද පළාත්වල ජනතාව තමයි. ඒ කෙලෙහිගුණය කවදාවත් නිසා මේ රටේ කිසිම පුරවැසියෙක් අමතක කරන්නෙ නැහැ. මේ නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ සන්ධාන රජය කෙරෙහි ජනතාවගේ විශාල විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ඒ අයුරින්ම අපේ රජය ආරක්ෂා කරල තියෙනවා. ජනතා ඡන්දයකදී රටේ ජනතාව ඉහළින්ම මේ විශ්වාසය තහවුරු කරනවා.

* ඔබ එහෙම කීවත් නැඟෙනහිර පළාත් සභාව වගේ වැඩි මුස්ලිම් නියෝජනයක් තියෙන ප්‍රදේශවල ජනතාව අද තනිව තරග කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වටා ඒකරාශී වුනොත් ජයග්‍රහණය ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?

මුස්ලිම් කොංග්‍රසය කියන්නෙත් සන්ධාන ආණ්ඩුව තුළ ඉන්න පක්ෂයක්. මුස්ලිම් ජනතාව කොංග්‍රසයට ඡන්දය දෙනවා කියන්නෙ එයත් ආණ්ඩුවට වැටෙන ඡන්දයක්. ඒ නිසා මුස්ලිම් කොංග්‍රසය වෙනම තරඟ කරන්නට ගත් තීන්දුව තුළ ආණ්ඩුවේ ඡන්ද අඩුවීමක් සිදුවෙන්නෙ නැහැ. සමහරු මේක ආණ්ඩුවේ මහා කඩාවැටීමක් කියල උලුප්පන්න හදනවා. එහෙම දෙයක් නැහැ රවුෆ් හකීම් කියන්නෙ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙක්.

එතුමගේ ඉල්ලීම වුණේ වැඩි ආසන සංඛ්‍යාවක් සඳහා මුස්ලිම් කොංග්‍රසයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න කියපු එක. ඉතින් සන්ධානයේ කොදු නාරටිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂය දියාරු වෙන්න ඉඩ දෙන්න බැරි නිසා එතුමාගෙ ඉල්ලීමට ජනාධිපතිතුමා එකඟවුණේ නැහැ. ඒ නිසා සුහදව ඔවුන් තනිව තරග කරන්නට ඉදිරිපත් වුණා. එහෙම වුණා කියල සන්ධානය සමඟ ඔවුන් ගෙ කිසිම ගැටුමක් නැහැ. මුස්ලිම් කොංග්‍රසය ජයග්‍රහණය කළත් ඒ ආසන එන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට. ඒ නිසා ජයග්‍රහණය ගැන අබමල් රේණුවක තරම් අවිශ්වාසයක් නැහැ.

* ද්‍රවිඩ ජාතික සන්ධානය වගේ පක්ෂ මෙම බෙදීම ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින් විවේචනය කරන්නත් පුළුවන්නෙ. එක රටක් හැටියට ජාත්‍යන්තරයේදී අපට අවාසිනෙ?

ඔව් ඉතින් TNA එක කවදත් එවැනි දේ කරානෙ. නමුත් වෙච්ච සෙතක් නැහැනෙ. සිද්ධ වුණේ ඔවුන් තව තවත් ලෝකය ඉදිරියේ හෑල්ලු වුණ එක විතරනෙ.

* හොඳයි, ද්‍රවිඩ ජාතික නියෝජනය වැඩි පළාත් සභාවල ද්‍රවිඩ ජාතික සන්ධානය පැහැදිලි ජයග්‍රහණයක් ලබයි කියල ඔබ විශ්වාස කරනවද?

ඔය ජාතීන් අනුව බෙදිල මැතිවරණ ව්‍යාපාර කරපු කාලයක් තිබුණා. එහෙම කරල දිනපු පක්ෂයක් තිබුණා. ඒ දිනුවෙත් ඒ පැත්තට ආපු නියෝජිතයන්ගෙ මුසා බස්වලට රැවටිලා. නමුත් අද ජාතිය සලකල ඡන්දෙ දෙන පිරිසක් නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානයට අද ඒ පැතිවල ගෙදරකට පය තියන්නවත් විදියක් නැහැ. ඒ තරමට ඔවුන් ඒ ජනතාව රවටලා. ද්‍රවිඩ මුස්ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මොකද මේ ආණ්ඩුවෙන් තරම් සේවයක් කිසිම පක්ෂයකින් ඔය කිසිම ජාතියකට සිදුවෙලා නැහැ.

* ඔබගේ පක්ෂය නියෝජනය කරමින් මැතිවරණය සදහා ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන් ගැන තරුණ මන්ත්‍රීවරයකු හැටියට ඔබගේ තක්සේරුව මොකක්ද?

ඇත්තටම එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අනෙක් සියලුම අපේක්ෂකයන් ඒ පළාත්වල හිටපු ජනතා නියෝජිතයන් හැටියට යම් මෙහෙවරක් ජනතාවට කළ පිරිසක් තමයි මෙවර ඉදිරිපත් කර තියෙන්නෙ. වැඩි අවස්ථාවන් දීල තියෙනවා තරුණ අපේක්ෂකයන්ට. ඒ එක්කම පසුගිය කාලවල ඇතිවූ නොයෙකුත් චෝදනා නිසා මෙවර අපේක්ෂකයන් තෝරන සම්මුඛ පරීක්ෂණයේදී ඔවුන්ගේ යටගියාව ගැන සොයා බලන්නට පොලිස් වාර්තා පවා ගෙනත් තිබුණා. ඒ නිසා මෙවර අපි ඉදිරිපත් කරල තියෙන්නෙ බොහොම පිරිසිදු අවංක ශක්තිමත් කණ්ඩායමක්. ඒ නිසා විපක්ෂයට ප්‍රබල අභියෝගයන් එල්ල කරන්නට ඔවුන්ට හොඳ ශක්තියක් තිබෙනවා.

* ඔබ එහෙම කීවත් මේ ඡන්දයක් අත ළඟ තියාන ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නයි, ඩීසල් ප්‍රශ්නයි. ඇත්තටම ජනතාව මහත් පීඩාවට පත් කළ ගැටලු වෙලා. විපක්ෂය ගෙන එන චෝදනා හැටියට මේවටත් උත්තර දෙන්න වෙනව නේද?

ඇත්තටම මේ ප්‍රශ්නවලින් නම් ජනතාව විශේෂයෙන් තරුණ කණ්ඩායම් මහත් පීඩාවට පත්වුණ බව නම් පිළිගන්න වෙනව. නමුත් ජනාධිපතිතුමා මේවට මැදිහත් වෙලා කඩිනම් විසඳුම් ලබා දුන්නනෙ. ඩීසල් ප්‍රශ්නයවත් ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නයවත් විෂය භාර ඇමැතිවරු හිතා මතා කළ දේවල් නෙවෙයි. මේ නිසා ඔවුන්ට පෞද්ගලිකව චෝදනා එල්ල කිරීම සාධාරණ නැහැ. අනෙක අපි තරුණ මන්ත්‍රීවරුන් හැටියට මමත් නාමල් මන්ත්‍රීතුමාත් අපි කිහිප දෙනෙක් ඒ ළමයින්ව පෞද්ගලිකව හමුවෙලා ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන ජනාධිපතිතුමා හරහා යම් සාධාරණත්වයක් ඉටුකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඩීසල් ප්‍රශ්නයත් ඒ වගේ තමයි.

* හොදයි විපක්ෂයේ චෝදනාවක් තමයි දරන්න අමාරු ජීවන වියදම මේක අපටත් දැනෙනවා මේකට දෙන විසැඳුම මොකක්ද?

මේ සදහා අමතර ආදායමක් ලබන වැඩපිළිවෙළක් අපි ඇතිකළ යුතුයි. ග්‍රාමීය කර්මාන්ත දියුණුව ගම නැගුම දිවි නැඟුම හරහා තවත් ඉන් ඔබ්බට ගිය ගෘහ ආර්ථික සංකල්පය මෙයට විසඳුමක් හැටියට අපි ඉදිරිපත් කරල තියෙනවා.

* හොඳයි. ජනතා නියෝජිතයා හැටියට පාර්ලිමේන්තුවට තෝරා පත්කළ පළාතේ ජනතාව වෙනුවෙන් ඔබ කර ඇති සේවය මොකක්ද?

ඇත්තටම ඔය කාරණයේ දී නම් විශේෂයෙන්ම පින් දෙන්න ඕනෑ ජනාධිපතිතුමාට. මොකද විශේෂයෙන්ම ඉස්සර තිබුණ ක්‍රමයට ඡන්දෙ දිනනවාට වැඩිය අමාරුයි පළාතේ සංවර්ධනය සඳහා විමධ්‍යගත අරමුදලින් මන්ත්‍රීවරයකුට දෙන රුපියල් ලක්ෂ 50 බෙදන එක. සමහරවිට ඇමැතිවරයකුට කැබිනට් ඇමැතිවරයකුට වැඩිය පළාතේ ජනතාව අපට ඡන්දය දීල තියෙනවා. නමුත් මන්ත්‍රීවරයකු හැටියට ලැබෙන රුපියල් ලක්ෂ 50 බෙදන්න විදියක් නැහැ. ජනාධිපතිතුමා මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

අද මන්ත්‍රීවරයකුට පුළුවන්කම ලැබිල තියෙනවා හැකියාව ඇත්නම් ඇමැතිවරයකුට කැබිනට් ඇමැතිවරයකුට වැඩිය තමන්ගෙ පළාතට වැඩ කරන්න. ආර්ථික සංවර්ධන හෝ වේවා විදුලිබල, ආපදා කළමනාකරණ කුමන හෝ අමාත්‍යාංශයකින් ලැබෙන මුදල් ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා පළාතේ සංවර්ධනයට යොදවන්න. ඉස්සර වගේ වැඩකරන්න දැන් ඇමැති තනතුරු ඕනෑ නැහැ. අපිත් බොහොම සතුටින් ඉන්නෙ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්නට අපිට දැන් ශක්තිය තිබෙනවා. ජනාධිපතිතුමා බලන්නෙ නැහැ ඔහු මන්ත්‍රී වරයෙක්ද ඇමතිවරයෙක්ද අලුත්ද පරණද කියලා.

ලොකු කුඩා බව නොවේ. අපි ගෙන එන යෝජනාව තමයි එහි බර තරාදියට දාන්නෙ. එයින් ජනතාවට ලැබෙන සෙත කොච්චරක්ද කියලා. ඒ අනුවයි එතුමා එයට අනුමැතිය දෙන්නෙ. රජකාලෙන් පස්සෙ මහින්ද රාජපක්ෂ යුගයෙ තමයි සහල් පිටරට යවන්න ගත්තෙ. අද කාපට් පාරට කොළඹින් නැංගම කින්නියා, මුලතිව් චාවාකච්චේරිවලින් මයියංගන පොළොන්නරු ගිහිල්ලා ආපහු ගමටම යන්න පුළුවන් සංවර්ධනයක් තියෙන්නෙ. ඒ ජනාධිපතිතුමා ඇති කරපු ක්‍රමය නිසා. අද මූල්‍ය කළමනාකරණය අතින් ගත්තත් ලෝකයේ ධනවත්ම රටවල්වලටත් ඉදිරියෙන් අපි ඉන්නෙ. ඒ නිසා මේවා ගැන ජනතාව අද දැනුවත් වෙලයි ඉන්නෙ. මා කළ වැඩ ජනතාව දන්නවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා