පටු ජාතිවාදීන්ට යට නොවී ජාතික සමඟිය උදෙසා එක් වෙමු

ජාතීන් අතර සහෝදරත්වය නැති කිරීමට කාටවත් ඉඩ නැහැ

සියලු ජනයාගේ නායකයා මෙන්ම ආඩම්බරකාර බාරකාරයා මමයි

පටු ජාතිවාදීන්ට යට නොවී ජාතික සමඟිය උදෙසා එක් වෙමු

සමන්තුරේ රැලියේ දි ජනපති කියයි

සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජාතීන් අතර තිබෙන සහෝදරත්වය නැති කරන්නට ජාතිවාදීන් කිසිවකුටත් ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

සියලු ජනතාවගේ නායකයා මෙන්ම ආඩම්බරකාර බාරකාරයා වශයෙන් ජාතික සමඟිය වෙනුවෙන් තමන්ට පැවරී ඇති වගකීම අකුරටම ඉටු කරන බව පැවසූ ජනාධිපතිවරයා පටු ජාතිවාදීන්ගේ අදහස්වලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටියේය.

ඉතිහාසයේ පටන් ජාතීන් අතර පැවැති සමඟිය බිඳින්නට සමහරුන් උත්සාහ ගනිමින් සිටියද සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව අතර ඇති සබඳතාව දිනෙන් දින ශක්තිමත් වන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ අදහස් කළේ නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ විජයග්‍රහණය තහවුරු කිරීම සඳ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කළ සමන්තුරේ ජනරැලියට පෙරේදා (27) එක්වෙමිනි.

අනාතගයක් පිළිබඳ හැඟීමක් නොමැතිව බියෙන් සැකෙන් සිටි කාලය දැන් අවසන් බව සිහිපත් කළ ජනාධිපතිවරයා සියලු ජාතීන්ට සමඟියෙන් සිටිය හැකි රටක් ගොඩනැගීමේ වගකීම අප සැම සතු බව පෙන්වා දුන්නේය.

අතන පල්ලිය කැඩුවා මෙතැන පන්සල කැඩුවා කියමින් කෙරෙන දේශපාලන චෝදනා පිළිබඳ හොඳින් දන්නා තමන් ඒ කෙරෙහි අවධානය යොමු නොකර යුතුකම ඉටු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අප ගොඩනැගිය යුත්තේ එකිනෙකාට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වන රටක් මිස එකිනෙකා අවිශ්වාස කරන රටක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සෑම ආගමකම හරය එය බවත් ප්‍රකාශ කළේය.

පටු ජාතිවාදී අදහස් අනවශ්‍ය බවත් සුළු ජාතිය, මහ ජාතිය කියා දෙයක් තවදුරටත් මේ රටේ නොමැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. අපේ දරුවන් රටේ අනාගතය වන බැවින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමේ යුතුකම ඉටු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා