සංචාරකයන් එක් කෝටි විසිපන් ලක්ෂයක් වසර 3ක් ඇතුළත උතුරේ සැරිසරලා

සංචාරකයන් එක් කෝටි විසිපන් ලක්ෂයක් වසර 3ක් ඇතුළත උතුරේ සැරිසරලා

තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් වී වසර තුනක් ගත වන විට දෙස් විදෙස් සංචාරකයන් එක්කෝටි විසිපන් ලක්ෂයකට වැඩි පිරිසක් උතුර දැක බලා ගැනීම සඳහා එහි සංචාරය කර තිබේ.

යුද හමුදාව පවසන තොරතුරු අනුව යුද්ධය අවසන් වී බිම් බෝම්බ ඉවත් කර මහාමාර්ග නවීකරණය වීම සහ වෙනත් පහසුකම්ද වැඩිදියුණු වීමත් සමග උතුරට යන සංචාරකයන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.

පසුගිය සති අන්තය වන විට එම මාසය තුළ පමණක් සංචාරකයන් ලක්ෂයක් පමණ උතුරට ගොස් තිබේ. වාහන පමණක් දස දහසක් පමණ මේ මාසය තුළ උතුරට ධාවනයවී ඇත. පාසල් නිවාඩුව ආරම්භ වීම, අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වීමත් යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මහා පූජාව පැවැත්වීමත් නිසා එතරම් විශාල පිරිසක් සංචාරය කර තිබේ.

නල්ලූර් කෝවිලේ මෙවර පූජාව අවසන් වූයේ පසුගිය 17 වැනි දිනය. එහි පැමිණි බැතිමතුන් සඳහා යුද හමුදාව බත් පාර්සල් පහළොස් දහසක දන්සැලක් පවත්වා තිබේ. යුද්ධයෙන් පසු කෝටියකට වැඩි පිරිසක් උතුරේ සංචාරයක යෙදීම මෙන්ම ඔවුන් අතර සාමය කඩ නොවන කිසිදු සිද්ධියක් වාර්තා නොවීම සහ ඔවුන්ට උපරිම ආරක්ෂාව ලැබීම විශේෂත්වයකි.

සංචාරකයන්ගේ ආරක්ෂාවේ වගකීම මෙන්ම ඔවුන්ගේ සියලු අවශ්‍යතා සැපයීම යුද හමුදාව යටතේ සිදු කෙරුණි. මෙම සංචාරකයන් සඳහා යුද හමුදාවේ සද්කාරක සේවා මෙරට මෙන්ම විදේශීය සංචාරකයන්ගේද දැඩි පැසසුමට ලක්වූ අවස්ථා ගණනාවක් වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා