කපිලවස්තුපුර සර්වඥ ධාතු අද ගම්පොළ

කපිලවස්තුපුර සර්වඥ ධාතු අද ගම්පොළ

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව උදා කරමින් මෙරටට වැඩම කළ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද දින (29) ගම්පොළ නාරංවිට ඉහළවෙල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට වැඩමකරති.

කන්තලේ අග‍්‍රබෝධි විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සර්වඥ ධාතූන් වහන්සේ 29 වන දින පෙරවරු 9.00ට ගම්පොළ නගරයට වැඩම කෙරෙන අතර ඉන් අනතුරුව පෙරහරක් මගින් සම්බුද්ධත්ව ජයන්ති විහාරයට වැඩම කෙරේ.

දහවල් බුද්ධ පූජානේ අනතුරුව පෙරවරු 11.00 සිට මහජන පූජෝපහාර සඳහා විවෘත කරන බව දොළුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හා විහාරාධිපති උනන්තැන්නේ මහින්ද හිමියෝ පවසති.

දින දෙකක් පුරා මහජන පුෂ්පෝපහාර සඳහා ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයට අගමැති දි.මූ ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් හා සම්බුද්ධත්ව ජයන්ති විහාරාධිපති උනන්තැන්නේ මහින්ද හිමිගේ අනුශාසකත්වයෙන් අගමැති පුද්ගලික ලේකම් අනුරාධ ජයරත්න මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහත්රු සහ නගර සභා සභාපතිවරු මන්ත‍්‍රීවරු ඇතුළු විහාරස්ථාන දායක සභාව මෙය සංවිධාන කටයුතු සිදුකර ඇත.

දොළුව හා උඩපළාත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ගම්පොළ පොලිසිය, නගර සභාව ඇතුළු ආයතන ගණනාවක් එකතුව පැමිණෙන බැතිතුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ අවශ්‍ය සියලූ ආරක්ෂාවන් සපයා ඇති බවය.

මධ්‍යම පළාත තුළ සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය පවත්වන එකම ස්ථානය මෙය වන අතර ප‍්‍රදර්ශනය සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ගම්පොළ දෙසින් එන ජනයාට ඔවුන්ගේ වාහන පල්ලේවෙල ප‍්‍රදේශයේ නවතා තැබීමටත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා පැමිණෙන ජනයාගේ වාහන නාරංවිට ප‍්‍රදේශයේ නවතා තැබීමටත් පහසුකම් සපයා ඇති බව ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චන්ද්‍රා ජයවීර මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා