තොරතුරු තාක්ෂණය සඳහා ම වෙන් වූ සරසවියක්

තොරතුරු තාක්ෂණය සඳහා ම වෙන් වූ සරසවියක්

තොරතුරු සන්නිවේදන තාක්ෂණය සඳහාම වූ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා අනාවරණය කරයි.

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ (WTC) ස්ථාපිත කර ඇති ලංකා රාජ්‍ය ජාල මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙරට සියලුම රාජ්‍ය ආයතන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රියාකාරකම් සහ එම යටිතල පහසුකම් සංවර්ධනය මේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් සිදු කෙරේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ මේ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේ මහජන සේවාවන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීමත් සමඟ එහි විපුල පල ‍ප්‍රයෝජන ජනතාව සහ රාජ්‍ය අංශය යන‍ දෙපාර්ශවයම අද බුක්ති විඳිමින් සිටින බවය.

එමෙන්ම රටේ ප්‍රගමනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දායක කර ගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය. ICTA ආයතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ, ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර, නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මේ නි‍රීක්ෂණ චාරිකාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා