නොබැඳි රාජ්‍ය නායක සමුළුව හෙට ටෙහෙරානයේදී

නොබැඳි රාජ්‍ය නායක සමුළුව හෙට ටෙහෙරානයේදී

නොබැඳි ජාතීන්ගේ 16 වැනි රාජ්‍ය නායක සමුළුව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී හෙට (30) ආරම්භ වෙයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මේ රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම අද (29) දිවයි‍නෙන් පිටත්ව යයි.

ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති නියොමාල් පෙරේරා මහත්වරුන්ද මේ සඳහා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා දිනමිණ ට පැවසීය.

නොබැඳි ජාතීන්ගේ සමුළුව පසුගිය 25 දා ආරම්භ කෙරුණු අතර මේ දක්වා කාලය තුළ විශේෂ රැස්වීම්, අමාත්‍ය මට්ටමේ රැස්වීම් පැවැතිණි. අමාත්‍ය මට්ටමේ සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති නියොමාල් පෙරේරා මහතා සහභාගි වූ අතර එහිදී පොදුවේ ලෝකයට බලපාන කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුකර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ලෝකයේ රටවල් 120 ක රාජ්‍ය නායකයන් සහභාගිවන ‍නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේදී අන්තර්ජාතික සංවර්ධන කටයුතු, සිරියාවේ ප්‍රචණ්ඩත්වය, ඊශ්‍රායල් - පලස්තීන ගැටුම, ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ ආදිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

1961 වසරේදී පිහිටුවාගත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවල් අයත්වන අතර සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් විසඳුම් ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

මේ සමුළුවේදී නොබැඳි ව්‍යාපාරයේ චක්‍රිය සභාපතිත්වය ඊජිප්තුවෙන් ඉරානය වෙත පිරිනැමීම විශේෂත්වයක් වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලින් තුනෙන් දෙකක ප්‍රමාණයක් මේ සංවිධානයට අයත්වන අතර විශාලත්වය අතින් ලෝකයේ දෙවැනි විශාලතම ජාත්‍යන්තර සංවිධානයද වෙයි.

ජාතික නිදහස, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, ආරක්ෂාව පෝෂණය කිරීම, අධිරාජ්‍ය වාදය හා යටත් විජිතවාදය එරෙහිව ක්‍රියාකිරීම, විදේශ ආක්‍රමණ හා අත්පත් කර ගැනීම් වළකාලීම ආදිය නොබැඳි ජාතීන්ගේ සමුළුවේ අරමුණ වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා