වාලච්චේන කඩදාසි කම්හල වාර්තාවක් පිහිටුවයි

එක් දිනකදී කඩදාසි මෙ.ටොන් 19ක් නිපදවා

වාලච්චේන කඩදාසි කම්හල වාර්තාවක් පිහිටුවයි

එක් දිනක දී කඩදාසි මෙට්‍රික් ටොන් 19 ක් නිපදවා වාලච්චේන ජාතික කඩදාසි සංස්ථාව පෙරේදා (27) වාර්තාවක් තැබීය. මීට මාස හතරකට පෙර බිඳ වැටී තිබූ ජාතික කඩදාසි සංස්ථාව නිසි බලධාරී දේශමාන්‍ය මංගල සී. සෙනරත් මහතාගේ මැදිහත්වීම හා කැපවීම මත මෙවන් දියුණුවක් ළඟා කරගෙන ඇතැයි එහි සේවකයෝ “දිනමිණ” ට ප්‍රකාශ කළහ.

කඩදාසි මෙට්‍රික් ටොන් 200 ක් මාසයකට නිෂ්පාදනය කිරීමට ඉලක්ක කොට ඇතැයි කී සේවකයෝ,එම ඉලක්කය ජය ගැනීමට කැපවන බව ද කියා සිටියහ. ජාතික කඩදාසි සංස්ථාවේ සිදුවූ සීඝ්‍ර සංවර්ධනය ගැන නිසි බලධාරී මංගල සී. සෙනරත් මහතාගෙන් අප කළ විමැසුමට පිළිතුරු ලබා දෙමින්, “අපි මෙට්‍රික් ටොන් 500 ක් මාසයකට නිපදවීමට සැලසුම් කොට තිබෙන්නේ.

ඒ ඉලක්කය ජයගත හොත් නැඟෙනහිර පළාතින් අපේ සංස්ථාවට අලුතින් සේවකයෝ 200 – 250 ක් දෙනා බඳවා ගැනීමට හැකියාව ලැබෙන බව කීය.” නැඟෙනහිර පළාතේ තිබෙන රජයට අයත් විශාලතම කර්මාන්ත ශාලාව මෙයයි. මෙය තමයි පළාතේ වැඩිම විදුලිබිල ගෙවන ආයතනය. මෙහි නිෂ්පාදනය ඉදිරි මාස දෙක තුන ඇතුළත වැඩි කිරීමට අපිට පුළුවන්.

“අපිට ප්‍රශ්නයකට තිබෙන්නේ අබලි කඩදාසි ප්‍රමාණවත් තරම් නොලැබීමයි. මාසයකට මෙට්‍රික් ටොන් 1000, අබලි කඩදාසි අපට ලබා ගන්නට හැකි වුණොත් අපේ ඉලක්කය ජයගත හැකි වෙනවා, නිසි බලධාරියා කීය. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන ඇමැති දයාශි‍්‍රත තිසේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය විලී ගමගේ, රාජ්‍ය සම්පත් කළමනාකාර සංස්ථාවේ ප්‍රධාන විධායක සුමිත් ජයරත්න යන මහත්වරුන්ගෙන් තමාට නිරන්තර සහයෝගයක් ලැබෙන බවද සෙනරත් මහතා කෘතවේදීව සිහිපත් කෙළේ ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා