සන්ධානයේ ජය වැළැක්වීමට කිසිම බලවේගයකට බැහැ

සන්ධානයේ ජය වැළැක්වීමට කිසිම බලවේගයකට බැහැ

ශ්‍රීලනිප තරුණ සංවිධානයේ ලේකම් ශ්‍රීලාල් වික්‍රමසිංහ

පංච මහා බලවේගයට සියලු බලවේග එක්කොට පළාත් සභා සියල්ල ජය ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වයට හැකියාව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ප්‍රධාන ලේකම් යටියන්තොට ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක සබරගමු පළාත් සභා හිටපු ඇමැති ශ්‍රීලාල් වික්‍රමසිංහ මහතා පවසයි.

රට තුළ හෝ රටින් බැහැරව සිටිමින් ක්‍රියාත්මක රටට ද්‍රෝහි ඕනෑම බලවේගයක් පරාජය කිරීමට හැකි ශක්තිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට සියලු ජන කොටස් එකට ඒකරාශී වී බුලත් කොළය දිනවීමට එක්රොක් වී සිටින බවද වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රේෂ්ඨ නායකත්වයත් ජනතාව අනුමත කරන බව මෙම පළාත් සභා මැතිවරණයේදී පැහැදිලි වන බව ඒ මහතා පවසයි.

සබරගමුව උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා තුන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමට ජනතාව එක්රොක් වී සිටින්නේ සන්ධාන ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් කෙරෙහි ජනතාව තුළ ඇති අසීමිත විශ්වාසයත් නිසයි.

අභිමානවත් දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පමණක් නොව ආසියාවේම ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස ඉදිරියට ගෙන ඒමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරය මෙරට ප්‍රගතිශීලී ජනතාව මැනවින් වටහා ගෙන තිබෙන බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා මේ ජනතා ප්‍රතිචාරය වැළැක්වීමට කිසිදු බලවේගයකට නොහැකි බවද සඳහන් කරයි.

අතිශය දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කරමින් ආසියාවේ ආශ්චර්ය කරා රට ගෙන යාමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින මොහොතක සතුරු බලවේගවල සුරංගනා කතා වලට රැවටී කටයුතු කිරීමට ජනතාව මෝඩ නැති බවත් සඳහන් කළ ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා ජනතාවට දිනාදුන් නිදහස රැක ගැනීමට ලබාදුන් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට මෙම ආණ්ඩුව අවශ්‍ය බව ජනතාව තීරණය කොට අවසන් යැයිද කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා