ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංවර්ධනයට යුරෝපා සංගමයෙන් කෝටි 900ක්

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංවර්ධනයට යුරෝපා සංගමයෙන් කෝටි 900ක්

(2012/08/29/14:35)ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 60ක (රුපියල් කෝටි 900) මුදලක් ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත. මේ මුදල සෑම දිස්ත්‍රික්කයකම සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත අතර අදාළ සංවර්ධන ව්‍යාපෘති 2012 - 2017 කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නේවාසික නියෝජිත හා තානාපති බර්නාඩ් සැවේජ් මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය.

එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය, සංවර්ධන ක්‍රියාමාර්ග මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් බර්නාඩ් සැවේජ් මහතා දැනුවත් කරනු ලැබීය.

යුරෝපා සංගමය මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ප්‍රදානය මේ රටේ අඩු ආදායම්ලාභීන් සඳහා විශාල ශක්තියක් වන අතර එම මුදල දිළිඳුකම දුරලීම, දිළිඳු ජනතාව සඳහා මූලික යටිතල පහසුකම් සැලසීම මෙන්ම ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට සහාය වීම ඉලක්ක කොටගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව හදුනා ගන්නා මූලික ව්‍යාපෘති මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන කිහිපයක් විසින් ඒවා ක්‍රියාවට නංවනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අන්තර් ජාතික ළමා අරමුදල, ලෝක ආහාර සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒ අතර වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධනය ශ්‍රී ලංකාවට ලබාදුන් මානුෂීය සහයෝගය මෙන්ම ප්‍රතිසංධාන කටයුතු අගය කළ බැසිල් රාජපක්ෂ මහතා එවැනි කටයුතු සඳහා යුරෝපා සංගමය දැක් වූ සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කළේය.

සුනාමි ව්‍යසනයෙන් මෙන්ම පශ්චාත් යුද කාලයේදී අවතැන් වූ ජනතාව යළි පදංචි කිරීමේ කටයුතු මේ වන විට විශාල වශයෙන් අවසන් වී තිබෙන බව පෙන්වා දුන් ආර්ථික සංවර්ධන ඇමැතිවරයා මෙවර ලබා දෙන මුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමෝපායන්ට අනුව බෙදා දෙන බව ද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුබිනෙයි නැන්දි, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, අධ්‍යක්ෂ මොන්ටි රණතුංග, අධ්‍යක්ෂ සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා