ළමා අපයෝජන වැළැක්වීමේ විශේෂ වැඩමුළුවක්

ළමා අපයෝජන වැළැක්වීමේ විශේෂ වැඩමුළුවක් ගල්කිරියාගමදී

(2012/08/29/15:10) රට පුරාම ළමා අපයෝජන රැල්ලක් ඇතිවී තිබෙනවා. අපයෝජන සිද්ධීන් වැඩිවීමත් සමඟ මවුපියන්ට ගුරුවරුන්ට පොලිසියට චෝදනා එල්ල වෙනවා. එකිනෙකාට චෝදනා එල්ල කර කර සිටියාට අපයෝජන නතර වෙන්නේ නැහැ. ඒ සඳහා කල යුතුව ඇත්තේ හැම දෙනාම එකමුතුව අපයෝජන සිද්ධීන් මැඬලීමට පියවර ගැනීම යැයි ගල්කිරියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල මහතා පැවසීය.

හෙතෙම මේ බව කීවේ බුදුගේහීන්න විහාරස්ථානයේ ධර්ම විද්‍යා දහම් පාසල, ගල්කිරියාගම පොලිසිය හා බුදුගේහීන්න සිවිල් ආරක්ෂක කමිටුව විසින් සංවිධාන කරන ලද ළමා අපයෝජන වළක්වා ගැනීම සම්බන්ධයෙන් මවුපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවකට සහභාගී වෙමිනි.

මෙහිදී ප්‍රසන්න වැලිකල මහතා මෙසේද පැවසීය.

අද ශීඝ්‍රයෙන් වැඩිවී යමින් පවතින ළමා අපයෝජන සිද්ධින් මේ ආකාරයෙන්ම පැවතුනහොත් ඉදිරි කාලයේදී පොලිස් ස්ථානවල ළමා නිවාස ඇති කරන්නත් සිදු වේවි.

ළමා අපයෝජන සිද්ධීන් බොහොමයකට හේතුවී ඇත්තේ මවුවරු ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යාමයි. ඒ බව උතුරුමැද පළාතේ පැහැදිලිව දැකිය හැකියි.

මේ තත්ත්වය නිසා ගෘහ සේවිකා රැකියා සඳහා විදේශගතවන මවුවරුන්ට පොලිස් වාර්තා ලබාදීමට පෙර ග්‍ර‍්‍රාම නිලධාරී වෙතින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට මා කටයුතු කරනවා.

රටේ සිදුවන අපරාධ මර්දනය කිරීම පොලිසියේ වගකීමක්. එම කටයුත්ත පොලිසියට පමණක් ඉටු කිරීම අපහසුයි. ඒ සඳහා අන් අයගේත් සහාය ලැබෙනවා නම් වඩාත් පහසුයි.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස හා ළමා ආරක්ෂක නිලධාරී ප්‍රභාත් ආරියරත්න මහතා

කුඩාකල සිටම දරුවාට යහගුණ කියා දීමෙන් සදාචාරසම්පන්න දරුවකු හදා ගැනීම අපහසු නැහැ. ඒ සඳහා මවුපියන්ගේ මනා කැපවීමක් අවශ්‍යයි. දරුවා පාසලේ ගත කරන්නේ පැය කීපයක්. දවසේ ඉතිරි කාලය ගත කරන්නේ් මවුපියන් සමග. එනිසා දරුවන් පිළිබඳ වැඩි වගකීමක් ඇත්තේ මවුපියන්ටයි. අද පවතින අයහපත් වාතාවරණය නිසා මවුපියන් හැමවිටම දරුවන් ගැන විමසිලිමත් විය යුතුයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා