කළුතර තේ වත්තක සේවය අත්හිටවූ කම්කරුවන්ට වන්දි ගෙවන්නැයි කළ නියෝගය පැහැර හැරලා

කළුතර තේ වත්තක සේවය අත්හිටවූ කම්කරුවන්ට
වන්දි ගෙවන්නැයි කළ නියෝගය පැහැර හැරලා

* පානදුර සහකාර කම්කරු කොමසාරිස් ගෙන් අධිකරණයට පැමිණිල්ලක්

රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් කළුතර වත්තක සේවය අහිමිවූ සේවකයින්ට වන්දි වශයෙන් රුපියල් දොළොස් ලක්ෂ දාහතර දහසක මුදලක් ගෙවන ලෙසට කම්කරු විනිශ්චය සභාවෙන් එම සංස්ථාවට නිකුත් කළ නියෝගයක් පැහැර හැරීම සම්බන්ධයෙන් පානදුර සහකාර කම්කරු කොමසාරිස්වරයා රාජ්‍ය වැවිලි සංස්ථාවට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති වරයාට සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කර තිබිණ. මෙම නඩුව 26.07.12 දින අධිකරණය හමුවේ කැඳවූ විට රාජ්‍ය වැවිලි සංස්ථාව නියෝජනය කරමින් නීතිඥ මහින්ද ඩයස් මහතා පෙනී සිටිමින් කරුණු කියා සිටියේ ය.

ඒ මහතා අධිකරණයට කියා සිටියේ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපතිවරයා ඉවත් කර ඇති අතර නව සභාපති වරයෙක් පමණක් රාජ්‍ය වැවිලි සංස්ථාවේ පාලනයට පත් කර ඇති බවත් වන්දි මුදල ගෙවීමට නම් සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය අනුමත කළ යුතු බවත් ය. මීලඟ නඩු වාරය නොවැම්බර් මාසයට කල් තැබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා