ජපානය පැරැද්දූ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ

ආසියානු නෙට්බෝල් ශූරතාවලිය

ජපානය පැරැද්දූ ශ්‍රී ලංකාව අපරාජිතව පෙරමුණේ

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිවුවැනි තරගයෙන් ජපානය පරදා ලකුණු 110 - 8ක දැවැන්ත ජයක් වාර්තා කළේය.

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතව පෙරමුණට පැමිණ සිටී. එමෙන්ම සහභාගී වූ තරග 4ම ජයගත් සිංගප්පූරුව ද ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද විවේක දිනයක් වන අතර ‘බී’ කාණ්ඩයේ දෙවැනි තැනට පත්වන කණ්ඩායම සමඟ හෙට අවසන් පූර්ව තරගයට සහභාගී වේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයේ අවස්ථාවක්.
ඡා‍යාරූප-රංජිත් අසංක

එහෙයින් දැනට සිංගප්පූරුවට පමණක් පරාජය වූ මැලේසියාව අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට හමුවනු ඇත. එම තරගය හෙට පෙරවරු 11.00ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව බවට පත්ව සිටින ‘ගෝල් ෂූටර්’ තර්ජනී සිවලිංගම් ජපානයට එරෙහි තරගයේ ආරම්භයට යොදා නොගැනීම විශේෂත්වයකි.

ඇය වෙනුවට එම ස්ථානයේ තිසාලා අල්ගම ක්‍රීඩා කළ අතර අවසන් කාර්තු දෙකේදී තර්ජනී ආදේශ විය. තිසාලා උත්සහයන් 51කදී ලකුණු 47ක් හා තර්ජනී උත්සාහයන් 56කදී ලකුණු 52ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා පිලේ ආරක්ෂක පෙළ ශක්තිමත් වීම කැපීපෙනුණු අතර දීපිකා අබේකෝන් හා චතුරාංගනී ජයසූරියගේ දක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් ජපාන ක්‍රීඩිකාවන්ට පළමු කාර්තුවේ දී ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

මේ තරගාවලියේ පළමු කාර්තුවේදී ලකුණු වාර්තා නොවූ එකම අවස්ථාවද මෙය විය.ජපානය දෙවැනි කාර්තුවේදී ලකුණකට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ගෝල් කීපර් ගයනි දිසානායක, සෙන්ටර් හී ක්‍රීඩා කළ නායිකා ගයාත්‍රි ලංකාතිලක හා වින්ග් ඇටෑක් මරීෂා ප්‍රනාන්දු ජපානයට එක්වීමට තිබූ විශාල ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා වාසියට හරවාලූහ.

තරගයේ ලකුණු තත්ත්වය වූයේ 29 - 00, 27 - 01, 30 - 02 හා 24 - 05ක් වශයෙනි.

ජපානය ආසියානු නෙට්බෝල් ශූරතාවලියට මුල්වරට එක්වූ හෙයින් මෙය විශාල අත්දැකීමක් බව පුහුණුකාරිනී එයිකො තාගෝ මහත්මිය පැවැසුවාය. ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩු හෙයින් ශ්‍රී ලංකාව වැනි ප්‍රබල කණ්ඩායමක් ඉදිරියේ පසුබැසීම සාමාන්‍ය දෙයක් බව ද ඇය පැවැසුවාය.

සිවුවැනි තරගය ද විශිෂ්ට ජයකින් සමාප්ත කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටී. ශ්‍රී ලංකාව වසර 2009දී ශූරතාව දිනාගත් හෙයින් මෙවර ජයග්‍රහණය පිට පිට දෙවැනි වරට ද අපේක්ෂාවෙන් සිටී.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් තරගය සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙනු ඇතැයි දැනටමත් විචාරක මත පළවී තිබේ.

ඊයේ නිමාවූ තරග ප්‍රතිඵල මෙසේය

සිංගප්පුරුව 76 - බෲනායි 18
හොංකොං 77 - නේපාලය 02
මැලේසියාව 94 - පාකිස්තානය 07

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා