පොදු රාජ්‍ය මණ්ඩලය අපට වැදගත්!

පොදු රාජ්‍ය මණ්ඩලය අපට වැදගත්!

පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක් මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ. ඊට රටවල් පනස් හතරක නියෝජිතයෝ සහභාගි වෙති. මේ සියල්ල අධිරාජ්‍යවාදයෙන් බැට කෑ රටවල් ය. දැන් නිදහස ලබාගෙන ස්වාධීන ආර්ථික දර්ශනයක් අනුව කටයුතු කරන රටවල් ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීන්දු වූයේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගෙන ය. පළමුවැන්න ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රාජ්‍යයක් වීම ය. දෙවැන්න ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගනිමින් සිටීම ය.

පොදු රාජ්‍ය මණ්ඩලය නම් ශක්තිමත් ලෝක ස්වේච්ඡා සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1944 දී ය. ඊට රටවල් හතක් අයත් විය. එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, රොඩේෂියාව එම රටවල් ය. මීට පෙර 1911 දී අධිරාජ්‍යවාදයට යටත් වූ රාජ්‍ය වෙනත් සංවිධානයක් පිහිටුවාගෙන තිබිණි. එහෙත් එය අසාර්ථක විය. එය පරාජය කොට ඇති වූ නව සංවිධානය පොදු රාජ්‍ය මණ්ඩලය යි. පසුව ඊට රාජ්‍යයෝ පනස් හතරක් ඇතුළත් වූහ.

යේ කොළඹ දී මුළු දුන් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට රටවල් පනස් හතරක නියෝජිතයෝ සහභාගි වූහ. මේ සමුළුව දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොළඹ දී පැවැත් වේ. පළමු සැසිය පැවැත්වූයේ කොළඹ නෙළුම් පොකුණ මධ්‍යස්ථානයේ දී ය. එය ඉතා සාර්ථක සම්මේලනයකි. ආණ්ඩුව ඉතා උත්කර්ෂවත් ලෙස මේ උලෙළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි. එය අගය කළ යුතු කාරණයෙකි. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ශ්‍රී ලංකාව ප්‍රයෝජන ගත යුතු ය. හැකි නම්; එය මෙහෙයවීමට අවස්ථාව ලබා ගත යුතු ය.

යටත් විජිත රාජ්‍යයන් ආරම්භ වූයේ ලෝක වෙළෙඳාමත් සමඟ ය. පහළොස් වන සියවසෙහි යුරෝපයේ බලවත් ජාතීන් තමන්ගේ ආර්ථික ශක්තිය ප්‍රදර්ශනය කළේ රටට අයිති රන් ප්‍රමාණය අනුව ය. රන් ප්‍රමාණය රැස් කළ හැකි එක ම මාර්ගය ලෝක වෙළෙඳාමෙහි යෙදීම ය. ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, පෘතුගාලය වැනි රටවල් පළමුව ලෝක ගනුදෙනු අතර ප්‍රමුඛතාව ගත්හ. ඒ පහළොස් වන සියවසේ සිට දාහත් වන සියවස දක්වා ය. දහ අට වන සියවස වන විට මහා බ්‍රිතාන්‍යය ලෝක වෙළෙඳාමේ ආධිපත්‍ය සියතට ගත්තේ ය. ඊට බල පෑ ප්‍රධාන සාධකයක් වූයේ බ්‍රිතාන්‍ය සතු ශක්තිමත් නාවික හමුදාව ය.

ඉතිහාසයට වඩා වර්තමානය වැදගත් ය. අද කළ යුතු දේ අද ම කළ යුතු ය. එය අන්තර්ජාතික දේශපාලනයට ද, දේශීය දේශපාලනයට ද එක සේ වැදගත් වනු ඇත. ගෙවී ගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සමාජය හමුවේ පිළිගත හැකි ගෞරවණීය තත්ත්වයක් තිබුණේ නැත. අසාර්ථක රාජ්‍යය, අකර්මන්‍ය රාජ්‍යය, මානව හිමිකම් කඩ කරන රාජ්‍යය යන ලෙසින් නරක ලේබල් ගණනාවක් අපට එරෙහි ව පැවැතිණි. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව එම චෝදනාවලින් බොහොමයක් පුහු විරෝධ ලෙස ප්‍රතික්ෂේප කරන්නට සමත් විය.

චීනය ගැන ඉන්දියාව ගැන අමෙරිකාව ගැන වුවමනාවට වඩා බලාපොරොත්තු දල්වා සිටීම එක අතකින් මෝඩකමකි. වත්මන් ආණ්ඩුව එසේ පක්ෂග්‍රාහී හෝ රාජ්‍යග්‍රාහී හෝ වන්නේ නැත. ඒ වෙනුවට රටේ ඉදිරි ගමනට අදාළ විදේශීය සහයෝගය ලබා ගැනීමට ආණ්ඩුව විසින් ක්‍රියා කරනු ලැබේ. එය සතුටට කාරණයෙකි. එහි දී නොයෙක් විවේචන ඉදිරිපත් විය හැකි ය. බලපෑම් ඉදිරිපත් විය හැකි ය. එහෙත් අප කටයුතු කළ යුත්තේ රටේත්, ජනතාවගේත් අනාගතයට ගැළපෙන ලෙස ය. අද එය සිදුවන බව පැහැදිලි ව කිව යුතු ය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතා ගණනාවක් තිබේ. පළමුවැන්න රටට එරෙහි ව නැඟෙන මානව හිමිකම් චෝදනා පරාජය කිරීමට ලෝක ප්‍රජාව ගේ සහයෝගය අවශ්‍ය වේ. දෙවැන්න අපගේ වේගවත් ආර්ථික පිම්මට අවශ්‍ය වාණිජ ශක්තිය පොදු රාජ්‍ය මණ්ඩල රටවලින් ලබා ගත යුතු ව තිබේ. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට අයත් සියලු රටවල් අධිරාජ්‍යවාදයෙන් බැට කෑ රටවල් ය. බටහිර සූරාකෑමට ලක් වූ රටවල් ය. මේ රටවල් ස්වාධීන ලෙස ද සාමූහික ලෙස ද නැඟී සිටිය යුතු ය. නැඟී සිට අධිරාජ්‍යවාදයට හා සූරාකෑමට එරෙහිව සටන් කළ යුතු ය. එහි දී කියුබාව, චීනය, සිංගප්පූරුව, ඉන්දියාව කියා වෙනසක් නැත.

මීට පෙර ද පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ අතුරු සම්මේලන රැසක් ශ්‍රී ලංකාවේ පවත්වා තිබේ. එම සම්මේලනවල දී ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය ගැන මුළු ලෝකය ම කතා කරනු අපට අසන්නට ලැබිණි. දකින්නට ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙවන වන එහෙත් එබඳු ම ශක්තිමත් සංවිධානයක් ඇති ස්වාධීන ව්‍යාපාරයෙකි. නැතහොත් සම්මේලනයකි. දැනට ම වාර්තා වී ඇති පරිදි මේ සමුළුවට සහභාගි වන විදේශීය රාජ්‍ය නියෝජිතයෝ ශ්‍රී ලංකාව ගැන කතා කරති. එම කතා කිරීම අදාළ වන්නේ අන්තර්ජාතික ප්‍රජාවට ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව එක අතකින් දිගින් දිගට ම මැතිවරණ දිනයි. තව අතකින් ලෝක ප්‍රජාව අතර ප්‍රශංසාවට ලක් වේ. ත්‍රස්තවාදය පරාජය කිරීම හා ශීඝ්‍ර ආර්ථික පිම්ම ඊට හේතු වේ. මෙහි ගෞරවය යා යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ය. ඔහු ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියාවට ම හොඳ නායකයෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා