ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව ශ්‍රී ලංකාව ලෝකයටම පෙන්නුවා

රට ගැන බොරු  පතුරවන්නේ භීෂණයට සහාය දෙන අයයි

වසර 81ක් තිස්සේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්තවාදය රැක ගත්තා

ප්‍රතිසංධානය මඟින් රට නැංවීම රජයේ අරමුණයි

ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව ශ්‍රී ලංකාව ලෝකයටම පෙන්නුවා

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සමුළුව අමතමින් ජනපති කියයි

ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සටනේදී, ත්‍රස්තවාදය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බව ලෝකයට පෙන්වා දීමට ශ්‍රී ලංකාවට හැකි වුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිසංධානය තුළින් රට නැවත ගොඩනැගීම රජයේ අරමුණ වුවත් ඇතැම් රටවල් තහවුරු කළ නොහැකි තොරතුරු මඟින් අප රට පිළිබඳ අයහපත් හැඟීමක් ඇති කර ගනිමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි අසත්‍ය තොරතුරු ලබා දෙන්නේ භීෂණයට සහාය දක්වන කොටස් විසින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් විදෙස්ගතව සිටිමින් බෙදුම්වාදයේ බීජ තවමත් වපුරන බව අවධාරණය කළේය.

පිටරටවල රැකවරණය මත හිඳිමින් බොරු ප්‍රචාරයක් පතුර‍න මොවුන් ප්‍රතිසංධාන ක්‍රියාවලියට කිසිදු සහායක් නොදක්වන අතරම ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. සම්ප්‍රදායානුකූල ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනය කරමින් මානව හිමිකම් උල්ලංඝණය කරන්නන්ම මානව හිමිකම් සටන් පාඨයක් කර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සමුළුවේ සමාරම්භක උළෙලට කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ඊයේ (11) එක්වෙමිනි. ශ්‍රී ලංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක දුන්නේ ලෝකයේ දරුණුතම යැයි සැළකුණු ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමෙන් පසු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසර 81 ක් තිස්සේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත් පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අප ලත් ජයග්‍රහණ ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපනය අනෙකුත් රටවලට ආදර්ශයක් බවත් ජනාධිපතිවරයා පැවසීය.

සංවර්ධනයෙන් තොර සාමයක් මෙන්ම සාමයෙන් තොර සංවර්ධනයක් ද ‍නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප රට සම්බන්ධයෙන් බොරු තොග පිටින් ප්‍රචාරය කෙරුණත් සත්‍ය වටහා ගැනීමට මෙහි පැමිණ සිටින නියෝජිතයන්ට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ත්‍රස්තවාදය පරාජය කිරී‍මෙන් අනතුරුව එතෙක් ජනවරම අහිමිව සිටි ජනතාවට අවස්ථාව ලබා දෙනු පිණිස නැගෙනහිර පළාත ඇතුළු රටේම මැතිවරණ පැවැත්වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබන වසරේ උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා උතුරේ ජනතාවටත් එම අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ ‍කළේය. මෙම සමුළුව පැවැත්වෙන අතරතුර සාර්ථක පළාත් සභා මැතිවරණයක් පැවැති බවත් ඡන්දය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන අයුරු සමුළුවට එක් වු නියෝජිතයන්ට දැක ගැනීමට හැකි වුණු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේශ් ශර්මා, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති, කතානායක චමල් රාජපක්ෂ, විධායක කමිටු සභාපති ඇලන් හර්ෂල්හර්ට්ස්, මහලේකම් ‍ආචාර්ය විලියම්. එෆ්. ෂිජා, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, සභානායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනාකය මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා