ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනය දෙස ලොව අන් රටවල අවධානය යොමුවෙලා

ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධනය දෙස ලොව අන් රටවල අවධානය යොමුවෙලා

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගම් සමුළුව අමතා ජනපති කියයි

යුද්ධයෙන් පසු කාලසීමාවේ ක්‍රියාත්මක වුණ සංවර්ධන ක්‍රියාදාමයේ ශ්‍රී ලංකාව ලත් සාර්ථකත්වය කෙරෙහි අද ලෝකයේ බොහෝ රටවල අවධානය යොමුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 58 වන සමුළුවේ සමාරම්භක උළෙලට කොළඹ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ඊයේ (11) එක්වෙමිනි.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සැසිවාරයේ සමා­රම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමතූ අයුරු. ඡායාරූපය - සුදත් සිල්වා

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ වත්මන් උප අනුශාසක හැටියට කොළඹ දී පැවැත්වෙන මෙම 58 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සම්මේලනයට පැමිණ සිටින සියලු නියෝජිතයින් මම සාදරයෙන් පිළිගන්නා අතර මෙම අවස්ථාවේ ඔබව ඇමතීමට ලැබීම ගෞරවයක් ලෙස සලකමි.

මෙම සංවිධානය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ පුරා වෘත්තය තුළ දීර්ඝ හා සම්භාවනීය ඉතිහාසයක් ඇත්තකි. හිරු නොබසින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එහි ප්‍රබලත්වයේ හිනිපෙත්තේ සිටි අවදියේ 1911 දී අධිරාජ්‍ය පාර්ලිමේන්තු සංගමය ලෙස මෙය ආරම්භ විය.

ඉන් අනතුරුව ඉන්දියාව හා එවක “ලංකා” ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව නතු වී තිබූ අධිරාජ්‍යවාදය හා යටත් විජිතවාදයෙන් නිදහස් වීමේ ප්‍රධාන ව්‍යාපාරයන්හි සාර්ථකත්වය තුළින් එය අද අපි දන්නා ආකාරයට පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය බවට වෙනස් වුණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ඉතා මුල්කාලීන සාමාජික රටවලින් එකක් ලෙස තෙවැනි වරටත් මෙම වැදගත් ජාත්‍යන්තර පාර්ලිමේන්තු සමුළුවට සත්කාරකත්වය දීමට ලැබීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුටට පත් වෙයි.

1931 වැනි අතීතයේ සිට සර්වජන ඡන්ද බලය ලැබූ ආසියාවේ ප්‍රථම රට වෙමින්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැරණිතම සම්ප්‍රදායයන්ගෙන් එකක් ලබමින් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සාමාජිකයින් අතරට යාම සිහිපත් කිරීමද වැදගත්.

මෙම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්ප්‍රදායය හමුදාමය හා කැරලි කෝලහාල තුළින් යන දෙකෙන්ම එයට එරෙහිව කුමන්ත්‍රණ කළ අයගෙන් එය ආරක්ෂා කර ගනිමින් පසුගිය වසර 81 පුරා අපි එය ඉදිරියට ගෙන ආවෙමු. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නිවැරදි විස්තර කෙරුණු (එල්.ටී.ටී.ඊ.යට) එරෙහිව ක්‍රියා කොට අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය හා අපේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෑතකදී ආරක්ෂා කර ගතිමු.

ප්‍රජාතන්ත්‍රවාදය හා ත්‍රස්තවාදය අතර ගැටුම් පවතින මේ සමයේ සාර්ථකව ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවත්, දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කොට තිබූ ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදයේ අගනා හරයයන් ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බවත් අපි ලෝකයට පෙන්වා ඇත්තෙමු.

ඔබ අද මෙහි හමුවන්නේ රටේ පළාත් සභා තුනක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සාර්ථකව පවත්වා දින තුනක් වැනි කෙටි කලකිනි. ජනතාව මනාපයන් නිදහසේ ප්‍රකාශ කොට ඇත්තේ කෙසේද යන්න ඔබ නිරීක්ෂණය කරමින් සිටිනවා විය හැකියි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ සම්ප්‍රදායය තුළ ඡන්ද මගින් ආණ්ඩු වෙනස් කිරීම සහ ව්‍යාවස්ථා වෙනස් කිරීම ද සංශෝධනයන් කර ඇත.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරු ප්‍රථමයෙන් කළ දේවල් අතරට පළමුව නැගෙනහිර පළාතේ හා ඉන් අනතුරුව සමස්ත රට තුළ ඉතා ඉක්මනින් ප්‍රාදේශීය සභා පළාත් සභා හා ජාතික මැතිවරණ පැවැත්වීම ඇතුළත් වීම සැලකිය යුත්තකි. ඒ ත්‍රස්තවාදයේ බලහත්කාරකම් විසින් තම ඡන්ද බලය අහිමි වූ විශාල කොටසක ජනතාවගෙන් නිසි ජන වරමක් ලබා ගැනීමටය.

ඇත්ත වශයෙන් කියතොත්, මගේ පළමු ජනාධිපති ධුර කාලය නිමා වන්නටත් පෙර මම දෙවැනි ධුර කාලයක් සඳහා ඡන්දය පැවැත්වීමට කටයුතු කළේ 2005 නොවැම්බර් මස මා ජනපති ධුරය ඉල්ලා සිටි පළමු අවස්ථාවේ ඔවුනගේ නියෝජිතයින් තවමත් ලෝකයේ නොයෙක් තැන්වල ක්‍රියාකාරීව සිටින ත්‍රස්තවාදීන් උතුරේ සහ නැගෙනහිර බොහෝ ජනතාවට සිය ඡන්ද බලය පාවිච්චි කිරීමට තහනම් කළ නිසා සත්‍ය පූර්ණ ජාතික ජනවරමක් ලබා ගැනීමටය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන් පිළිගනිමින් ලබන වසරේ උතුරු පළාත් සභාවට ද ඉතා ඉක්මනින් අපි මැතිවරණ පවත්වමු.

බොහෝ සාර්ථක පශ්චාත් අර්බුද ප්‍රගතීන් විශේෂයෙන් 300,000 කට ආසන්න අභ්‍යන්තර අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ වේගය හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. දශක තුනක් පුරා දිග්ගැස්සුනු කුරිරු අර්බුදයකට පසුව ජාතික සංහිඳියාවක් සඳහා දරණ වෑයම තවත් වැදගත් අංගයකි. උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පිහිටුවීමට අර්බුදය අවසානයක් සමඟ ගත වූයේ දෙවසරකටත් අඩු කාලයකි.

 අර්බුදයෙන් පාඩම් ඉගෙනීමට එවන් අවස්ථා වැළැක්විය හැක්කේ කෙසේද? යන්න වටහා ගැනීමට පීඩාවට පත් වූවන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීමට සහ විශේෂයෙන් අපගේම අත්දැකීම් තුළින් ජාතියක් ලෙස සංහිඳියා මාවත සොයා ගැනීම එහි අරමුණයි. අප විසින් ජාතියට හා ලෝකයට ඉදිරිපත් කළ මනා ලෙස සැකසූ ක්‍රියාකාරී සැලැස්මකට අනුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් සිටී.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අපගේ නිශ්චිත කැපවීම සමගින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සමුළුවේ ක්‍රියාකාරිත්වය හා ප්‍රගතිය කෙරෙහි අපගේ දැඩි උනන්දුවක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ අවබෝධය හා දැනුම ඉහළ නැංවීම තුළින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා සාමාජික රාජ්‍යයන් අතර දැන උගත් පාර්ලිමේන්තු ප්‍රජාවක් ගොඩ නැංවීමට ඔබ දක්වන උනන්දුවට අපගේ ප්‍රබල සහයෝගය හිමිවේ.

පාර්ලිමේන්තු භාවිතයන් හා පටිපාටින් පිළිබඳ නොයෙකුත් අවබෝධාත්මක වැඩසටහන් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ නැංවීමෙහිලා කලාපීය සංසිද්ධීන් පිළිබඳ වටහා ගැනීමෙහිලා ඇති වැදගත්කම ලොව කුඩා රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් පිළිබඳ ඉගෙනීම, දැනුවත් හා කාර්යක්ෂම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයක් පුහුණු කිරීමේ වෑයම ලොව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ඉලක්කය හා සමපාත වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම විසින් පාර්ලිමේන්තු තුළ කාන්තා නියෝජනය ඉහළ දැමීම සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ සියලු කාර්යයන්හි ස්ත්‍රි පුරුෂ නියෝජනය පිළිබඳ කරුණුවලට මුල්තැන දීම ඉතා වැදගත් ලෙස සැලකේ.

ලෝකයේ ප්‍රථම අගමැතිවරිය ඡන්දයෙන් තෝරාපත් කර ගත් රට වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල පළාත් පාලන ආයතනවල සිටි පාර්ලිමේන්තු දක්වා කාන්තාවන්ගේ වෘත්තික දායකත්වය දිරි ගැන්වීමේ පියවර ගැන ශ්‍රී ලංකාව සුවිශේෂයෙන් උනන්දු වෙයි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වෙර දරන සංවිධානයක් ලෙස නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කිරීමට ඔබ ගන්නා උත්සාහයන් දිරිගන්වන සුළුය. එමෙන්ම සෑම මැතිවරණයකටම පසුව නවක මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පත්වන තත්ත්වයන් තුළ නව හෝ යළි පණ ගැන්වෙන පාර්ලිමේන්තු පද්ධතීන් ඇති රටවල් පිළිබඳව ඔබගේ අවධානය ඉතා ඵලදායි වේ.

ශාඛා 175 සහ පාර්ලිමේන්තු සාමාජිකයින් ඉතා ආසන්නතම ගණනය අනුව 17,000 සහිත පාර්ලිමේන්තු සමුළුවට අයත් මානව අත්දැකීම් සම්භාරය නිසා, එය විශිෂ්ට ආයතනයකි. එමගින් පාර්ලිමේන්තු භාවිතය සහ ක්‍රියාපටිපාටිය පිළිබඳ වඩා හොඳ අවබෝධයකට ජාත්‍යන්තර වෙළෙඳ පද්ධති සමාලෝචනයට සහ ශීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණික යුගයක විද්‍යාව පිළිබඳ නව ප්‍රතිපත්තීන් සලකා බැලීමකට ද මඟ පෑදේ. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වෙළෙඳාම වැඩි කිරීම සහ එවැනි වෙළෙඳාමට පහසුකම් සැලසීමේ මාර්ග ගවේෂණය කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.

විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය සහ පාර්ලිමේන්තු ආයතන ශක්තිමත් කිරීමට තම සාමාජිකයින්ට සහ ශාඛාවලට සහායවීමේ දී 2008 – 2012 උපාය මාර්ගික සැලැස්මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමෙහිලා සමුළුව සාර්ථක වී ඇති බවට සැකයක් නැත. විශාල හා කුඩා රාජ්‍යයන්වල ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීමට හේතුවන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට මෙන්ම විවිධ ප්‍රජාවන් හා ලබ්ධීන් අතර සමානාත්මතාවයට ඇති බාධක ඉවත් කිරීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රජාතන්ත්‍රවාදී කැප කිරීම වඩා ප්‍රවර්ධනය කර ඇත.

ඊළඟ වසර 04 සඳහා වූ සමුළුවේ උපායමාර්ග සැලැස්ම ගැන මෙම සමුළුව සාකච්ඡා කර නිගමනයන්ට එළඹෙනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රිය හරයන් ශක්තිමත් කිරීම ගැන සලකා බැලීමට මෙය නිසි කාලය වේ. අපගේ කාර්යයන් න්‍යායන්ට හා කාර්යයන්ට සීමා නොවී ජනතාවට බලපාන ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ අවධානය යොමුකළ යුතු වේ. ජන අභිප්‍රාය පිළිබඳ අපේ දැඩි අවධානය මගින් ජනතාවගේ යහපතට වඩාත් ඵලදායි වන ප්‍රතිපත්තිවලට වැඩි වැදගත්කමක් ලබාදීමට අපව පොළඹවනු ඇත. ජන ජීවිතයට සුබවාදී ලෙස බලපාන ආර්ථික ප්‍රගතිය සහ සංවර්ධනය තුළින් ජනතාවගේ සුබ සාධනයට වඩාත් ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වී ඇත.

මෙම අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති සාර්ථකත්වයේ වාර්තාව දෙස බැලීම යෝග්‍ය වනු ඇත. අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපගේ සාර්ථකත්වයන් අනෙකුත් රටවල් හා රාජ්‍යයන්ට ආදර්ශයක් ලෙස කැපී පෙනේ. අප රට තුළ බෞද්ධ සංස්කෘතිය තුළින් ආරම්භව පසුව ක්‍රිස්තියානීන් විසින් ප්‍රවර්ධනය කළ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ශක්තිමත් කරන ලද අධ්‍යාපනය තුළින් අද වනවිට 96% ක සාක්ෂරතාවයක් ලබා ඇත. එමෙන්ම ජන සුවසෙත සැලසීමේ පැරණි සම්ප්‍රදාය ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ශක්තිමත් කිරීමෙන් සැමට නිදහස් සෞඛ්‍ය සේවයක් ලබාදීමට මග සැලසී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට සහ ජනතාව කෙරේ අපගේ ඇති කැපවීම නිසා ශ්‍රී ලංකාව පසුගිය වසරේ 8% ආර්ථික වර්ධනයක් ලැබීමද ඊට පෙර ත්‍රස්තවාදය සමඟ ගැටුම් පැවති කාලයේ පවා සියයට 6 හා 7 ක ආර්ථික වර්ධනයක් ලැබීමද සඳහන් කිරීම වැදගත්ය. සාමයෙන් තොරව සංවර්ධනයක් ළඟා කරගත නොහැකි බව අපගේ දැඩි විශ්වාසයි. එමෙන්ම සංවර්ධනයෙන් තොරව සාමයක් නොමැති බව අපගේ විශ්වාසයයි.

මේ සියලු දෑ වර්තමාන යුගයට සාකල්‍යයෙන්ම වලංගුය. මෙම පුළුල් අරමුණු සහ පශ්චාත් ක්‍රියාකලාපයන්හි දී ප්‍රමුඛතාවයන් ගැන සමුළුව දෙස අපි මහත් බලාපොරොත්තු සහිතව බලා සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි හා ජාතික රාජ්‍යයන්ගේ ස්වෛරිභාවයට නිරන්තර අභියෝග කරන ගෝලීය යථාර්ථයන් පිළිබඳ ඔබගේ සැලකිල්ල යොමු කරනු ඇති බව නිසැකය.

ත්‍රස්තවාදයේ තර්ජනයෙන් පසු අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගතිය ගැන සියැසින්ම දැක ගැනීමට මෙහි සිටින අතරතුර ඔබට හොඳ අවස්ථාවක් ඇත. වර්තමානයෙහි ශ්‍රී ලංකාව ගැන නොකඩවා පතුරවනු ලබන අමූලික අසත්‍ය ප්‍රහාරයන් හමුවේ මෙය ඉතා වැදගත්ය.

මෙරට තුළ සංචරණයට පූර්ණ නිදහස ඇති බව ඔබට පෙනෙනු ඇත. රජයේ හෝ විපක්ෂයේ හෝ ඕනෑම ජනවර්ගයක හෝ පුද්ගලයකු හමු වී කතා කිරීමට හැකි බව ඔබට පෙනෙනු ඇත. සංහිඳියාව මගින් ජාතිය ගොඩනැගීමට වඩාත් ප්‍රමුඛත්වය දී ඇති මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ තතු දැන ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි.

ත්‍රස්තවාදී බලවේගයන්ට සහය දුන් අය විසින් තහවුරු කර නොමැති සහ හිතාමතා ගොතන ලද තොරතුරු මත පදනම් ව ශ්‍රී ලංකාව පිළිබඳ විදේශයන් තුළ වැරදි ආකල්ප හා මතයන් ගොඩනැගීම අවාසනාවන්ත තත්ත්වයකි. මොවුන් විසින් තව තවත් බෙදුම්වාදයේ බීජ විවිධ මාධ්‍යයන් මගින් පතුරුවා මෙම අසත්‍ය තොරතුරු මත ශ්‍රී ලංකාවට එරෙහිව තමන් දැන් පදිංචි රටවල දේශපාලකයින්ට බලපෑම් සිදුකිරීම තවදුරටත් කරගෙන යනු ලැබේ.

ඔවුන් රැකවරණය ලබන රටවල ශ්‍රී ලංකාවට අපහාස කරමින් ඔවුහු ශ්‍රී ලංකාවේ හෝ මෙහි ජනතාවගේ කොටසක් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසති. එසේ වුවද අද මෙහි පවතින සංහිඳියාවට හෝ සංවර්ධනයට දායක වීමට ඔවුන් කිසිදු උත්සාහයක් නොගන්නා අතර ඔවුහු සිය විදේශික ක්‍රියාකාරකම් මගින් සහයෝගය දෙන බව ප්‍රකාශ කරන ජනකොටසගේ ප්‍රගතියට පවා කිසිදු දායකත්වයක් නොදක්වති. දැන් ඔබට සත්‍ය වටහාගෙන ශ්‍රී ලංකාව පිළිබඳ වඩා ගැඹුරු යහපත් අවබෝධයක් ඇතිව ඔබ රටට යා හැකිය.

ලෝකයේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ වර්ධනය උදෙසා ක්‍රියාකාරීම සමුළුවේ කැපවීමයි. ඒ රට සතු විවිධ සංස්කෘතීන් සහ වටිනාකම් අගය කිරීම ඉතා වැදගත්ය. ප්‍රජාතන්ත්‍රවාදය මුල් බැසගත් හෝ එය වර්ධනය වන පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රජාතන්ත්‍රවාදය නමැති පොදු බැම්මකින් බැඳුණු විවිධත්වයේ යුතු ජාතීන්ගේ එකමුතුවකි.

සංස්කෘතීන්ගේ සම්ප්‍රදායයන්ගේ සහ වටිනාකම්වල විවිධත්වය එහි ඇත. සහශ්‍රක ගණනාවක් පැරණි සංස්කෘතීන් සහ උරුමයන් ඇති රටවල් මෙහි ඇත. එමෙන්ම කෙටි ඉතිහාසයක් සහ සම්ප්‍රදායයන් ඇති රටවල් ද ඇත. මෙම සියලු වෙනස්කම් හොඳීන් අවබෝධ කර ගෞරවයට පාත්‍ර කරන විට ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙසින් විකසිත වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත හා සංකල්පය සමඟ අපි බැඳී සිටිය යුතු වෙමු. එය නිදහසේ ප්‍රකාශයට පත් වන ජනතාවගේ කැමැත්තයි. මෑතදී යුරෝපයේ මූල්‍ය අර්බුදයේ මුල් අවදියේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ මාතෘ භූමියේදී අප එවන්නකට ඇති බිය දුටුවෙමු. තවත් අවාසනාවන්ත ප්‍රවණතාවක් ද අපි දකිමු.

එනම් ජනතාව සහ රාජ්‍යයන් මත ප්‍රජාතන්ත්‍රවාදය බලයෙන් පැටවීමේ ප්‍රයත්නයන්ය. ප්‍රජාතන්ත්‍රවාදයට මාවත ලෙස පාලනය වෙනස් කළ යුතු යයි සිතන අයද බොහෝය. අප ඇස් ඉදිරිපිට තිබෙන එවැන්නක අහිතකර ප්‍රතිවිපාක ගැන ඔවුන් සිතන්නේ නැත. මානව අයිතීන් ඉතා දරුණු ලෙස උල්ලංඝණය කරන අය විසින්ම සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ට තර්ජනය කිරීමට එයම හුදු සටන් පාඨයක් බවට ඔවුන් පත් කර ගෙන ඇති බව ද අපට පැහැදිලිය.

දශක අටකට වඩා දිගු කාලයක් ජනතාවගේ අභිලාෂයන් සුරක්‍ෂිත වූ ජව සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඔබගේ සමුළුව පැවැත්වීමෙන් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සරුසාර උල්පත් හමුවේ සංවාද හා සාකච්ඡා පැවැත්වීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ ලෝකයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මහඟු ඵල උදාකරනු ඇති බව අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සභාපති කතානායක චමල් රාජපක්‍ෂ මහතා - පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයේ 58 වන සමුළුවට පැමිණීම පිළිබඳව ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා. මේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ තුන්වැනි වතාවටයි. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැංගීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාවගේ ඇති කැපවීම පෙන්නුම් කරනවා.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිත වශයෙන් අප රටවල් සමව සිටි ඉතිහාසයක් තිබෙනවා. එම ඉතිහාසය අප එකට බැඳ තබන නූලක් සේ පවතිනවා. ඒ ඉතිහාසය තමයි මෙම සංගමය හදන්නට මුල් වුණෙත්. යහපාලනය හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම එයයි.

මීට වසර 80 ක පමණ පෙර එනම් 1931 දී පමණ අපට සර්වජන ඡන්ද බලය ලැබුණා. ඒ අප නිදහස ලබන්නත් පෙරයි. 1948 වසරේ නිදහස ලැබුණා. එදා මෙදාතුර අපේ රටේ බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය නොබිඳුණු සම්ප්‍රදායක් සේ පවතිනවා. අප නිසි කලට මැතිවරණ පවත්වනවා. ඒ වගේම කාලයෙන් කාලයට දේශපාලන බලය විවිධ පක්‍ෂ අතර හුවමාරු වෙමින් පවතිනවා.

එදා මෙදාතුර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාශීලී හා ශක්තිමත් ලෙස කලාපය තුළ පවත්වාගෙන යන්නට අපට හැකිව තිබෙනවා. ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැපවීම නිසයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ අප කටයුතු කරනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ විධායක කමිටු සභාපති ඇලන් හර්සල්හස්ට් මහතා - පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කෙරුණේ කරුණු කිහිපයක් නිසයි. එයින් ප්‍රධානම කරුණ වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්තවාදය නිමා කිරීමයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බොහෝ සංවර්ධනයක් ලබා තිබෙනවා. මේ රටේ මෙවර සමුළුව පැවැත්වීම පිළිබඳ අප සතුටු වෙනවා.

ශ්‍රී ලංකාව ෆීනික්ස් කුරුල්ලා මෙන් තමන්ගේ දක්‍ෂතාවයෙන් සහ කැපවීමෙන් නැඟී සිටි රටක්. ඒ බව අප දුටුවා. ලංකාවේ මේ කැපවීම නිසා ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබෙනවා.

පසුගියදා පැවැති පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා. එසේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ රට තෝරාගෙන තිබෙනවා.

වර්තමානයේ ලොව වේගයෙන් නැඟී සිටින රටක් ලෙස ද ශ්‍රී ලංකාව හඳුන්වා දීමට හැකියි. තාක්ෂණික හා වෙනත් අංශවලින් ද ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර පිළිබඳවත් අප සිහිපත් කළ යුතුයි.

මේ සියලු කරුණුවලට වඩා ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය නිමා කර රටට සාමය දිනා ගැනීමට හැකි වීමයි. මේ රටේ වර්තමානයේ පවතින සාමකාමී පරිසරය නිසා මේ සමුළුවත් සාර්ථකව පැවැත්වීමට හැකි වී තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේශ් ශර්මා, පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ආචාර්ය විලියම් එෆ්. ෂිජා, විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේ සභානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංගමයේ උප සභාපති මිනින්වා ජොහන්නස්, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහත්වරු, මැති ඇමැතිවරු, තානාපතිවරු, පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා