අලුත් නිවසක් තැනීමට සෙබළ බණ්ඩාර මැවූ සිහිනය පස් කන්දට යට වෙයි

අලුත් නිවසක් තැනීමට සෙබළ බණ්ඩාර මැවූ සිහිනය පස් කන්දට යට වෙයි

මිරහාවත්තම හැඬූ කඳුළින්

නිවසක් ඉදිකර දෙමාපියන් සහ නංගිගේත් මල්ලිගේත් අනාගතය සුරක්ෂිත කිරීමට සිහින දකිමින් සිටි වැලිමඩ මිරහාවත්ත ජීවත් වූ යුද හමුදා විශේෂ බළකා සෙබළ බී. එම්. ඒ. යූ. අයි. බණ්ඩාරනායක (20) දියතලාව යුද හමුදා කඳවුරේ දී කඩාවැටුණු පස් කන්දකට යටවීමෙන් මරු තුරුළට ගියේය.

සෙබළ බණ්ඩාරගේ අභාවයෙන් මිරහාවත්ත ගම අවට පදිංචිකරුවන් දැඩි ශෝකයට පත්ව සිටිති.

තම පුතුගේ වියෝවෙන් කම්පාවී සිටින මිරහාවත්ත, මදවත්ත, අලුත්වලව්වේ පදිංචි කේ. එම්. ප්‍රේමාවතී මහත්මිය (43) හැඬූ කඳුලින් මෙසේ කීවාය.

මම විවාහවී සිටින්නේ බී. එම්. පී. බණ්ඩාරනායක යන අය සමඟයි. අපිට දරුවන් තිදෙනෙක් සිටිනවා. වැඩිමල් අසංක පුතා මෙහෙම අකාලේ අපිව දාලා ගියා. පුතා මිරහාවත්ත දේවානන්ද මහා විද්‍යාලයේ ඉගෙනගත්තා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී නොසිට විශේෂ බළකායට බැඳුණා. අපි කිවේ අඩුම තරමින් විභාගයටවත් පෙනී ඉන්න කියායි. නමුත් පුතා ඊට අවනත වුණේ නෑ.

2011 මාර්තු 11 තමයි හමුදාවේ විශේෂ හමුදා ඒකකයට ඇතුළත් වුණේ. දියතලාව හා මාදුරුඔය කඳවුරුවලින් පුහුණුව අවසන් කර නැවත දියතලාව හමුදා කඳවුරට ආවා.

නිවාඩුව ලැබුණු ගමන් ගෙදර එනවා. එයාට සිහින 2ක් තිබුණා. අපේ පවුලට හොඳ අනාගතයක් හදන්න. අනික පුතාටම කියා නිවසක් හදාගන්න. පසුගිය මාසේ දවස් 10ක නිවාඩුවට ගෙදර හිටපු පුතා එයා අලුතින් හදන ගෙදරට අවශ්‍ය ගල්, වැලි ගෙනැවිත් දුන්නා. පුතත් නිවසේ වැඩවලට සිමෙන්ති බදාම දෙමින් සතුටින් හිටියා. ගමටම හිටපු හිත හොඳ දරුවෙක් කීවොත් හරි. එයා පුහුණුවන විටත් කඳවුරේ සිට ඇත්තේ කා සමඟත් සුහදත්වයෙන්.

පුතාගේ දහසක් බලාපොරොත්තු මෙසේ පස් කන්දක් යට වැළලී යාවි කියා අපි හිතුවේ නෑ. අතක් පයක් කැඩිලා සදා කල් අබ්බගාතයකු ලෙසින් බේරුනා නම් ඒකත් අපිට හිතට වාවාගන්න තිබුණා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා