කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේ අද සවස ඉන්දියාවට

කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේ අද සවස ඉන්දියාවට

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඊයේ (11) පෙ.ව. 9.00ට කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ සිට කැලණිය රජමහා විහාරස්ථානයට වැඩම කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් සර්වඥ ධාතුන් වහන්සේ හිස මත තබා වැඩමවා ගෙන පැමිණ කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් වෙත බාර දීමෙන් අනතුරුව, උන්වහන්සේ විසින් ධාතුන් වහන්සේ විහාරස්ථ ධර්ම ශාලාවේ විශේෂයෙන් සකසා තිබූ කුටියක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරන ලදී. මේ අවස්ථාවට ඇමති මර්වින් සිල්වා මහතා ද සහභාගි විය.

ප්‍රථමයෙන් මහා සංඝරත්නය ඇතුළු විහාරස්ථ දායක සභාව විසින් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව සැදැහවත් ජනතාව සඳහා අවස්ථාව සලසා දෙන ලදී.

සැතපුම් ගණන් දිගැති අති විශාල ජනතා පෝලිම් සෑම මාර්ගයකම දක්නට තිබිණ. විශේෂයෙන් පිච්චමල්, නෙළුම්මල්, දන්සැල් සේම බත් දන්සැල්, සිසිල්බීම දන්සැල් ඇතුළු විවිධ ආහාරයෙන් සමන්විත වූ දන්සැල් හේතුවෙන් ජනතාවට එතරම් අපහසුතාවයක් ඇති නොවීය.

සර්වඥ ධාතුන් වහන්සේ කැලණියට වැඩම කරවන අන්දම දැක බලා, වන්දනා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.ආර්.පී.සූරියප්පෙරුම, කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද, ඇමැති මර්වින් සිල්වා මහතාගේ බිරිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී මේරි ලුසිඩා මහත්මිය ඇතුළු දූ දරුවන් ද, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමඟ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ඇතුළු අති විශාල සම්භාවනීය පිරිසක් ද සහභාගි වූහ.කොළඹ බියගම මාර්ගය සහ කැලණිය වරාගොඩ මාර්ගය ද අති විශාල ජනතා පෝලිම් වලින් ගහණව ඇත. මෙහිදී මාර්ග වසා දැමීමක් සිදු නොවූ අතර, පොලීසිය විසින් මහත් වෙහෙස දරමින් රථවාහන පාලනය කිරීම විශේෂ සිද්ධියකි.

සර්වඥ ධාතුන් වහන්සේ අද (12) පස්වරුවේදී විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවට වැඩම කරවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා