පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සම්මේලනයේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සම්මේලනයේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන් ඇරැඹේ

මුළු ලොවෙහිම අවධානය ලක්මව දෙසට ඇදබැඳ ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සම්මේලනයේ සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් “නෙළුම් පොකුණ” මහින්ද රාජපක්ෂ රඟහලේ දී ඊයේ (11) උත්කරෂවත් අයුරින් පැවැත්විණි.

“අනාගතයට ඔබින පොදු රාජ්‍ය මණ්ඩලයක් සහතික කිරීම” මෙවර සමුළුවේ තේමාවයි. ආසියා, අප්‍රිකා, ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය, කැනඩා, කැරිබියන් සහ  ආසියා, පැසිපික් රටවල නියෝජිතයන් 800කට අධික පිරිසක් මේ සමුළුවට සහභාගි වූහ.

සමුළුවේ සමාරම්භක උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඊයේ (11) පෙ.ව. 9.00 වන විට සමුළුව පැවැති “නෙළුම් පොකුණ” රඟහල වෙත පැමිණි අතර රඟහල අභියස දී පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උප සභාපති, කතානායක චමල් රාජපක්ෂ, සංගමයේ විධායක කමිටු සභාපති ඇලන් හසල් හට්ස් මහත්වරු ප්‍රමුඛ කමිටු සාමාජිකයන් විසින් එම දෙපළ උණුසුම් අයුරින් පිළිගෙන සමුළු ශාලාව වෙත කැඳවාගෙන පැමිණියහ.

ප්‍රධාන අමුත්තා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් පොල්තෙල් පහන් දැල්වීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සංගමයේ විධායක කමිටු සාමාජිකයන් හඳුන්වා දීම සංගමයේ විධායක කමිටු සභාපති ඇලන් හසල් හස්ට් මහතා විසින් සිදු කළේය.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමුළුව නිල වශයෙන් අරඹන බව දැනුම් දුන්නේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උප සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් සභාව පිළිගැනීමේ කතාව කළේය. බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජින ඒවා තිබූ සුබපැතුම් පණිවුඩයද ඒ මහතා ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව සංගමයේ විධායක කමිටු සභාපති ඇලන් හසල් හට්ස් මහතා සභාව ඇමතීය.

ශ්‍රී ලංකා නාවුක හමුදා වාද්‍ය වෘන්දය ඉදිරිපත් කළ කන්කලු වාදනයකින් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමුළුව ඇමතීය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ගරු කරන රටක් බව ද අතීතයේ සිට මේ බව ක්‍රියාකාරිත්වය තුළින් ලොවටම සනාථ කර ඇතැයි ද මෙහිදී ජනාධිපතිතුමන් කීවේය. දීර්ඝ කාලයක් මේ රටේ පැවති ත්‍රස්තවාදය නිමා කිරීමේදී ද ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කර ලොවට ආදර්ශයක් ලබා දුන් බව ද ජනාධිපතිතුමන් පැවසුවේය. ශ්‍රී ලංකාව පිළිබඳ විවිධ ප්‍රශ්න නගන පිරිස්වලට මේ සමුළුවෙන් පිළිතුරු ලැබෙනු ඇතැයි ද ජනපතිතුමන් කීවේය.

පොදු රාජ්‍ය මණඩලීය පාර්ලිමේන්තු සංගමයේ 58 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද කමිටු නියෝජිතයන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීම ද මෙහිදී සිදුකෙරිණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උප සභාපති දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මන්ත්‍රී මිනින්වා ජොහෑන්ස් මහතා ස්තුති කතාව කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා