රට අසීරුතාවට ලක්කිරීමට කිසිදු බලවේගයකට නොහැකි බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කළා

රට අසීරුතාවට ලක්කිරීමට කිසිදු බලවේගයකට නොහැකි බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කළා

ඇමැති ජී. එල් පිරිස්

අන්තර්ජාතික මට්ටමින් ශ්‍රී ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කළද වත්මන් රජය සහ රට අසීරුතාවට පත් කිරීම සඳහා කිසිදු බලවේගයකට නොහැකි බව මෙවර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලවලින් පැහැදිලි බව රජය අවධාරණය කරයි.

ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ජනතාව වන අතර ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය පරාජය කළද ආර්ථික, ආයෝජන හා සංචාරක ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද්ධයක් ගෙන යන බවද ඒ සියල්ලට මේ මැතිවරණ ප්‍රතිඵලය කඳිම පිළිතුරක් බවද විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අවධාරණය කරයි.

මේ මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට පමණක් නොව ජාත්‍යන්තරයටද අතිශය වැදගත් වූ බව පෙන්වා දෙන ඒ මහතා අද වනවිට රටේ තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ප්‍රකාශ කළ හැකි බවද කියාසිටී. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ වත්මන් රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා අනුමැතිය ලැබී තිබෙන බවත් සෑම මැතිවරණයකින්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ශක්තිය වර්ධනය වී තිබෙන බවත්ය.

නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළ විදේශ කටයුතු ඇමැතිවරයා දමිල ජනතාව සියයට 40 ක්, මුස්ලිම් ජනතාව සියයට 33 ක් සහ සිංහල ජනතාව සියයට 27 ක් වාසය කරන බව පෙන්වාදුන් අතර ජන සංයුතිය කුමක් වුවද සියලු දෙනාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහ වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිගෙන තිබෙන බව සඳහන් කළේය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තුව සමුළුව සඳහා රටවල් 54 ක් නියෝජනය කරමින් 850 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව කී විදේශ කටයුතු ඇමැතිවරයා ඒ සියලුදෙනාටම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු හා ජනතා සිතුම් පැතුම් සියැසින් දැක ගැනීමට හැකිවී තිබෙන බවද ප්‍රකාශ කළේය.

අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීම, බිම් බෝම්බ ඉවත් කිරීම, එල්.ටී.ටී.ඊයේ යිටපු සාමාජිකයන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම ආදිය සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් ලබා තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා මෙවැනි වර්ධනයක් පෙන්නුම් කළ ලොව කිසිඳු රටක් නොමැති බවද සිහිපත් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාද මේ අවස්ථාවට සහභාගි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා