රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වේයන්ගොඩ දී

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ වේයන්ගොඩ දී

(2012-09-12 10:35) රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය -2012 මේ මස 30වැනි දින පස්වරු 2ට වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

2011 ජනවාරි 01 වැනි දින සිට දෙසැම්බර් 31 දක්වා මුද්‍රණය කර සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළ කළ විශිෂ්ටතම නවකතාව, කෙටිකතාව, පද්‍ය සංග්‍රහය, විද්‍යා ප්‍රබන්ධය, නාට්‍ය ග්‍රන්ථය, යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය, හොඳම පරිවර්තන ග්‍රන්ථ, ළමා සාහිත්‍ය හා විවිධ ශාස්ත්‍රීය ග්‍රන්ථ ආදිය සඳහා සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, හොඳම පිටකවර නිර්මාණය, හොඳම නිමාවෙන් යුතු ග්‍රන්ථය හා වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශිත ආයතනයට ද මෙදින සම්මාන පිරිනැමෙනු ඇත.

මීට අමතරව ශ්‍රී ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ටතම සේවය අගය කිරීම සඳහා පිරිනමන "සාහිත්‍යරත්න" සම්මානය සමඟ රුපියල් 75,000ක මුදල් ත්‍යාග තුනක් සිංහල, දමිළ හා ඉංග්‍රීසි ලේඛකයන් තිදෙනෙකුට පිරිනැමේ.

මෙවර සම්මාන පිරිනැමීම සඳහා 2011 වසරේ ප්‍රථමවරට මුද්‍රණය කළ ග්‍රන්ථ 1151ක් සළකා බලා විශිෂ්ටතම ග්‍රන්ථ සම්මාන සඳහා තොරාගෙන ඇත.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී. ඒකනායක මහතා ඇතුළු මැති ඇමැතිවරු, ප්‍රවීන කලාකරුවෝ, සාහිත්‍යකරුවෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා