දුම්බර වතුයායේ පවුල් 86 කට සනීපාරක්‍ෂක පහසුකම් ප්‍රමාණවත් නෑ

දුම්බර වතුයායේ පවුල් 86 කට සනීපාරක්‍ෂක පහසුකම් ප්‍රමාණවත් නෑ

ලයින් කාමර අබලන්: පානීය ජලය අපිරිසිදුයි

(2012-09-12 10:55) මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව ඉංගිරිය, දුම්බර වතුයායේ නො. 02 කොටසේ සේවකයෝ දුෂ්කරතා විඳිති. අදාළ බලධාරීන්ට පැමිණිලි කළද තත්ත්වයේ වෙනසක් නැති බව සේවකයෝ අවධාරණය කරති.

මෙම කොටසේ පවුල් 86 ක් ජීවත්වන අතර එහි ජනගහනය 350 ට අධිකය. මෙම පිරිසට පාවිච්චි කිරීමට තිබෙන්නේ වැසිකිළි 12 ක් පමණකි. වැසිකිළි රැසක්ම අඩක් ඉදිකර නවත්වා තිබේ. ඒවා වල්බිහිවී ගරාවැටෙමින් තිබේ. සේවකයින් පවසන්නේ වැසිකිළි ඉදිකිරීමට මුදල් වෙන්කර ඇති බවයි.

පානීය ජලය ලබාගැනීමද මොවුන්ට ගැටලුවකි. ටැංකිය නිසි පරිදි ඉදිනොකිරීමත් කැඩුණු නළවලින් ජලය ඉවතට යාමත් මෙම තත්ත්වයට බලපා තිබේ. අබලන් ජලනළවලට ෂොපින් කවර ඔතා තිබේ. ටැංකියට ආවරණයක් නැති නිසා සතුන්ගෙන් අපවිත්‍ර වන ජලය පානය කිරීමට සිදු වී ඇති බව සේවකයෝ කියති.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය පෙර පාසල නොපැවැත්වීම ද ගැටලුවක් බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳ දුම්බර වතු අධිකාරී සෝමපාල විජේරත්න මහතා පැවසුවේ වැසිකිළි ඉදිකිරීම පිළිබඳව වැවිලි මානව සංවර්ධන භාරයට දන්වා තිබෙන බවත්, මුදල් ලැබී නැති බවත්ය. අබලන්ව තිබෙන ලයින් කාමර 100 ක ලැයිස්තුවක් ද, එම ආයතනයට යවා තිබෙන බවත්, පිළිසකර කළ හැකි ඒවා අලුත්වැඩියා කර ඇති බවත් ඔහු පැවසීය.







 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා