ද.ආසියා කාන්තා පාපන්දු තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුල් වරට අවසන් පූර්ව වටයට

ද.ආසියා කාන්තා පාපන්දු තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුල් වරට අවසන් පූර්ව වටයට

භූතානයට ගෝල් 11ක් ගැසූ ඉන්දියාවෙන් වාර්තාවක්

දකුණු ආසියා කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට පිවිසීම උදෙසා ජයග්‍රහණය හෝ ජය පරාජයෙන් තොරවීම අනිවාර්යය වු බංග්ලාදේශට එරෙහි තරගය ගෝල් 2-1කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ සමත් වූහ.

ඒ අනුව දකුණු ආසියා පාපන්දු ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් පූර්ව තරගය අනිද්දා (14) කොළඹ සී.ආර් පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් වාර්තා කිරීමට සමත්වුයේ නැත. ජයග්‍රහණය වෙනුවෙන්ම සටන් වැදි දෙපිලේ ක්‍රීඩිකාවෝ තරග‍යේ දෙවැනි භාගයේදී ආක්‍රමණශිලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළහ.

එහි පළමු වාසිය ලබාගත් බංග්ලාදේශය 75වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ඉදිරියට පැමිණියද අභියෝගය බාරගත් ශ්‍රී ලංකාවේ හෂාරා දිල්රංගි 83වැනි මිනිත්තුවේදී අගනා ගෝලයක් වාර්තා කරමින් බංග්ලාදේශ බලාපොරොත්තු සුන් කළාය.

තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරක බළ ඇණිය ශක්තිමත් කළ චලනි කුමාරි ඊයේ දිනයේදී ජීව ගුණයෙන් පිරි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර 86වැනි මිනිත්තුවේදී ගෝල් කණුවට මීටර් 4ක් ඉදිරියෙන් සිටි අචලා චිත්‍රානීට දක්ෂ යොමු කිරීමක් කළාය. එයින් අනගි ප්‍රයෝජන ගත් අචලා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට අවශ්‍ය ගෝලය වාර්තා කළාය.

ගෝල් වාර්තා කළ ක්‍රීඩිකාවන් දෙදෙනාම පිටියට පැමිණියේ දෙවැනි භාග‍ෙය් වීම විශේෂ සිදුවීමකි.

ඉන්දියාවට ගෝල් 11ක් ජයක්

ඉන්දියාව හා භූතානය අතර ඊයේ පැවැති තරගයෙන් ඉන්දියාවට ගෝල් 11ක ජයක් හිමිවිය.

දෙවන වරට පැවැත්වෙන දකුණු ආසියා කාන්තා පාපන්දු තරග ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායමක් ලැබු වැඩිම ගෝල් සංඛ්‍යාව එය විය.

දැනටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින ඉන්දියාව මෙවර තරගාවලියේ තරග 3කදී ගෝල් 19ක් ලබා ප්‍රබල දක්ෂතා පෙන්වමින් සිටී. පසුගිය වසරේ මේ තරගාවලියේ ශූරියන් වූයේද ඉන්දිය පිලයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා