ජාතිවාදී උප්පරවැට්ටිවලට හසුවෙන්න එපා

ජාතිවාදී උප්පරවැට්ටිවලට හසුවෙන්න එපා

ඩග්ලස් දේවානන්දා

සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති

නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ ඇතිව ඇති තත්ත්වයත් දෙමළ ජනතාවගේ සහන හා සංවර්ධනය සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළත් ජාතින් අතර සංහිඳියාව ඇති කරගත හැක්කේ කෙසේද යන්නත් පිළිබඳ ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.

නැඟෙනහිර පළාත් සභාවට තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට, දෙමළ ජාතික සන්ධානයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. තනි දේශපාලන පක්‍ෂයක් විදියට එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි වැඩිම ආසන ප්‍රමාණය ජයග්‍රහණය කළේ. මේ ගැන ඔබේ විග්‍රහය මොන වගේද?

ජාතිවාදය ඉදිරියට දමමින් බොර දියේ මාලු බෑමක තමයි මේ අය උත්සාහ කළේ. දෙමළ ජාතික සන්ධානයට ඕනෑ කර තිබුණේ නැඟෙනහිර පළාත තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති කරමින් හා ජාතිවාදය ජාති භේදය ඇති කරමින් තමන්ගේ අරමුණු හා පටු න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමයි.

ඇත්තෙන්ම මම විශ්වාස කරන විදියට දෙමළ ජාතික සන්ධානය පමණක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයත් පටු දේශපාලන න්‍යාය පත්‍ර හා බල ලෝභයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමයි ජාතියට අනතුරු කරන භූතයෙක් විදියට හඳුන්වා දීමේ වරදක් නැහැ.

බලන්න නැඟෙනහිර දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂක ලැයිස්තුවේ සිටියේ කවුද කියලා. ඒ අතර එක් එක් වැරදිවලට හසු වූ අය. මෙතැනදී අපි ඉල්ලා සිටිනවා මේ ජාතිවාදී කණ්ඩායම්වල උපක්‍රමවලට හසු නොවී බුද්ධිමත්ව තීන්දු තීරණ ගත යුතුයි.

පළාත් සභා වෙත බලතල බෙදා දීම පිළිබඳව යළිත් කතාබහක් ඇති වෙලා තිබෙනවා. මේ ගැන දෙමළ ජනතාව නියෝජනය කරන නියෝජිතයකු විදියට ඔබේ අදහස මොන වගේද?

පළාත් සභා සඳහා බලතල අවශ්‍යයි කියන කරුණ මා අදත් අදහනවා. දහතුන් වෙනි සංශෝධනයෙන් ලැබී ඇති බලතල සියල්ල ලැබිය යුතුයි. ජනාධිපතිතුමා පවා මෑතකදී කියා තිබුණා පළාත් සභාවලට ලැබී ඇති බලතල ලබා දෙන බවට. දේශපාලන පක්‍ෂයක් විදියට අපේ මතය වෙලා තිබෙන්නෙත් එයයි. පළාත් සභාවලට බලය ලබා දුන්න කියන්නේ රට බෙදීමක් නොවෙයි. රට ආරක්‍ෂා කිරීමක් විදියටයි මා සලකන්නේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල විශාල සංවර්ධනයක් සිදු වෙමින් තිබියදී විශේෂ බලතල බෙදීමක් ගැන කතා කිරීම කෙතරම් දුරට සාධාරණ ද?

පසුගිය වකවානුවල බලයේ සිටි ආණ්ඩු මේ පළාත්වලට සැලකුවේ එක අම්මාගේ දරුවන් විදියට නොවෙයි. කුඩම්මාගේ සැලකිලි තමයි සිදු වුණේ. ඒත් මේ ආණ්ඩුව නිතරම මේ පළාත්වල සංවර්ධනය සඳහා විශාල පිටිවහලක් හා ආධාරයක් ලබා දුන්නා. ඒ ගැන මේ පළාත්වල ජනතාව විශාල තෘප්තියකින් හා සතුටකින් ඉන්නේ. ඒ නිසා නැඟෙනහිර සහ උතුරු පළාත්වල මැතිවරණවලදී පමණක් නොවෙයි සාමාන්‍ය කාලවලදීත් මේ පළාත්වල සංවර්ධනය සඳහා ප්‍රධානම කැපවීම හා සහයෝගය ලබා දුන්නේ මේ ආණ්ඩුව විසින්ය යන්න අතිශයෝක්තියක් නොවෙයි.

භෞමික සංවර්ධනය සමඟ දේශපාලන විසඳුම් ද ලබා දීම තමයි සිදුවිය යුත්තේ. අපි දේශපාලන පක්ෂයක් විදියට අවධාරණය කරන්නේ එයයි.

සිංහල සහ දෙමළ ජාතින් අතර සංහිඳියාව ඇති කිරීම හා මිත්‍රත්වය අතර ගොඩනැඟීම සඳහා මොන විදියේ වැඩපිළිිවෙළක්ද ක්‍රියාත්මක කළ යුත්තේ?

ජාතීන් අතර බෙදීම් ඇතිකිරීමත්, ජාතීන් අතර දුරස්ථ භාවයක් ඇතිකිරීමත් යහපත් දෙයක් නොවෙයි. ඇතිකළ යුත්තේ අවබෝධය හා සංහිඳියාව ගොඩනැගීමයි.

ගොඩනැය යුතු මේ සාරධර්ම මන් තමයි ජාතීන් අතර සංහිඳියාව ඇතිකළ යුත්තේ. කවුරුන් හෝ සිතනවා නම් ඔවුන්ට වඩා අප ඉහළයි කියලා එය වරදවා වටහා ගැනීමක්. මගේ දැක්ම හා දර්ශනය වන්නේ සියල්ලන්ම සමානයි කියන අදහසයි. අපට බොහෝ දේවල් වැරැදි ගියේ මේ චින්තනය අමතක කර කටයුතු කිරීම නිසයි. මේ දේ තේරුම් ගෙන දැන්වත් අප නිවැරැදි විය යුතු යැයි කියන අදහසේ තමයි මා සිටින්නේ.

ඒ ඒ මොහොතේදී ඇතිවිය හැකි දේශපාලන වාසි පිළිබඳව කතා කිරීමත්, සිතීමත් නොකළ යුතුයි. ජාතිවාදී පරමාර්ථ අතැර පුළුල් අදහසින් කටයුතු කිරීම තමයි විය යුත්තේ.

ඔබ සිතනවාද වර්තමානයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති මන් මේ කාර්යය ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි කියලා?

මේ දේවල් අප කෙසේ හෝ ඉෂ්ට කරගත යුතු දේවල්. ඒ නිසා අප වෙහෙස මහන්සි වී මේ දේවල් ලබාගන්න ඕනෑ. එය තමයි විය යුතු දේ වන්නේ. යුද්ධයෙන් ත්‍රස්තවාදය පරාජය කළා ඒක ඇත්ත. ඒත් මේ යුද ජයග්‍රහණය වඩාත් අර්ථවත් කරගන්න ඕනෑ නම් සිංහල, දෙමළ සංහිඳියාව, මිත්‍රත්වය ඇතිකළ යුතුයි. එය එහෙම නොවෙන තාක් කල් සමාජය තුළ ස්ථිර සංහිඳියාවක් ඇතිකර ගැනීමට බැහැ.

ජනාධිපතිතුමා පසුගියදා යළිත් අවධානය කළා ඔහු සිංහල ජාතියේ පමණක් ජනාධිපතිවරයෙක් නොවෙයි, මුළු ශ්‍රී ලාංකිකයන්ගේම ජනාධිපතිවරයා බව. මෙය අතිශය අගය කළ යුතු ප්‍රකාශයක්. මෙමඟින් වුණත් අපට තහවුරු කරගන්න පුළුවන් කරුණ වන්නේ මෙරට නායකයාට අද ජාතීන් අතර සමඟියක් ගොඩනැඟීමට අවංක වුවමනාවක් ඇති බවයි. මෙය ඉතා විශේෂ දෙයක් හා හොඳ ප්‍රවේශයක් විදිහටයි පෙන්වා දීමට පුළුවන්කම ඇත්තේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම යළිත් ආරම්භ වී තිබෙනවා. මේ පළාත් සභා ක්‍රමය 1987 දී ඇතිවුණේ දෙමළ ජනතාවට විසඳුමක් විදිහටයි. ඒත් දෙමළ බහුතරයක් සිටින උතුරේ මේ පළාත් සභා මැතිවරණය පවත්වා නැහැ. මෙය එසේ වූයේ ඇයි?

මෙතැනදී අප එකපාරටම අදහසක් පළ නොකළ යුතුයි. යුද්ධය නිමා වූ පමණින් මේ තැන්වල මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වාතාවරණයක් තිබුණේ. නැවත පදිංචි කරවීම්, බිම්බෝම්බ ඉවත් කිරීම් වැනි දේවල් සිදුවෙලා තිබුණේ නැහැ. දැන් තමයි උතුරු පළාත ක්‍රමිකව යථා තත්ත්වයට පත් වන්නේ. මේ ගැන කල්පනා කිරීමෙන් පසුව තමයි ඔබේ ප්‍රශ්නය ගැන බැලිය යුත්තේ.

දැන් ජනාධිපතිතුමා කියලා තිබෙනවා ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී උතුරු පළාත් සභාව පිහිටුවන බවට. මේ අදහසට අපත් එකඟයි. උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාදීම මඟින් තමයි මේ පළාත යථා තත්ත්වයට පත්වෙලා කියලා අන්තර්ජාතික ප්‍රජාව වෙත පණිවිඩයක් ලබාදීමට පුළුවන්කම ලැබෙන්නේ.

ඒ නිසා කිසිවකු සැක සංකා තබාගන්න ඕනෑකමක් නැහැ. ඉදිරි අවුරුද්දේදී උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වේවි.

උතුරේ ඡන්දය පැවැත්වීම දිගින් දිගටම කල්දමන්නේ එම පළාතේදී ආණ්ඩුවේ ඡන්ද පදනම දුර්වල නිසා බව ඇතැම් විචාරකයන් කියනවා. මේ විචාර කොතෙක් දුරට සාධාරණද?

ඒ චෝදනාව නම් මට පිළිගන්න බැහැ. අපට අවශ්‍ය ජය පරාජය නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත්, ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබාදීම යන කාරණා පමණයි. උතුරේ පළාත් සභා මැතිවරණයට ආණ්ඩුව පස්ස ගහනවා කියලා කියන්නේ කොහොමද, මෙයට පෙර උතුරේ පළාත් පාලන ඡන්දය පැවැත්වූවා. එතැනදි ඇතැම් තැන් දිනුවා. තවත් තැන් පැරදුනා. ඒත් පොදු වශයෙන් ගත්තහම මෙමඟින් රටට විශාල වාසියක් ලැබුණා.

අප විපක්‍ෂය වගේ දේශපාලන වාසි ගැනම සිතා කටයුතු කරන පිරිසක් නොවෙයි. රට මූලිකව තබා කටයුතු කරන දේශපාලන කණ්ඩායමක්. ඒ නිසා තමයි සෑම මොහොතකම ජනතා විශ්වාසය අප වෙත යොමු වුණේ. ජනතාව අපත් එක්ක බැඳීමක් ඇතිකර ගත්තේත් ඒ කාරණය නිසාම තමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා