‘කිරි පිටි මාෆියාව’ අල්ලන්න වෙළෙඳ ඇමැති දැල එළයි

‘කිරි පිටි මාෆියාව’ අල්ලන්න වෙළෙඳ ඇමැති දැල එළයි

පැය විසිහතරක දී 66ක් කොටු වෙති

සුපිරි වෙළෙඳ සල් රැසක් ඒ අතර

තරාතිරම නොබලා දඬුවම් දීමට පියවර

ළදරු කිරිපිටි වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකන ‘කිරිපිටි මාෆියාවේ’ නියැළි වෙළෙඳුන් කොටු කර ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය රටපුරා වැටලීම් ආරම්භ කර තිබේ.

එම වැටලීම්වලින් පසුගිය පැය 24 ඇතුළත පමණක් කිරිපිටි වැඩිමිලට විකුණූ වෙළෙඳුන් 66ක් අත්අඩංගුවට ගත් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ආනයනික ළදරු කිරි පිටි වර්ග, ආනයනකරුවන්ට සහ වෙළෙඳ ආයතනවලට අවශ්‍ය පරිදි අධික මිල ගණන් වලට අලෙවි කරමින් පාරිභෝගිකයා දැඩි සූරාකෑමකට ලක් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

ඒ අනුව ළදරු කිරි පිටි සඳහා පාලන මිලක් ගෙන එනු ලැබුවේ මීට මාස තුනකට පමණ පෙරය.

එසේ වුවත් ව්‍යාපාරිකයන් ඒවා පාලන මිලට අලෙවි කිරීමෙන් වැලකී තවදුරටත් ඔවුන්ට අවශ්‍ය පරිදි වැඩි මිලට විකුණා තිබිණි. ඒ අනුව සිදු කළ වැටලීම් වලින් මේ වෙළෙඳුන් කොටු කර ගැනීමට හැකිවී තිබේ.

එසේ කොටු වූ වෙළෙඳ ආයතන අතර සුපිරි වෙළෙඳසල් ගණනාවක් ද වෙයි.

එම ආයතනවල අලෙවි කිරීමට තබා තිබූ ළදරු කිරි පිටි ඇසුරුම්වල නව පාලන මිල නොව පැරැණි මිලම සඳහන් කර තිබිණි.

ඔවුන් සියලු දෙනාටම එරෙහිව පාරිභෝගික අධිකාරිය ඊයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව තිබුණි. ළදරු කිරිපිටි පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කරන වෙළෙඳුන් ඕනෑම කෙනකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා