විනිවිද බවින් ක්‍රියා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට දැන් උදාවී තිබෙනවා

විනිවිද බවින් ක්‍රියා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට දැන් උදාවී තිබෙනවා

අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්

යුද ගැටුම් සාර්ථක ලෙස අවසන් කිරීමත් සමඟ වගවීම හා විනිවිද බවින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් උදාවී තිබෙන බව අමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කරයි.

පළාත් සඳහා බලය බෙදා හැරීමේ ක්‍රියාවලියේ දී රජය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා ඉතාම වැදගත් බවද දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා පවසයි.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ රොබට් බ්ලේක් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර දිගු කාලයක සිට සබඳතා පවතින බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ආධාර වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට අධික ආධාර ප්‍රමාණයක් ලබා දී තිබෙන බවත්ය.

ආර්ථික අතින් මෙන්ම ත්‍රස්තවාදය තුරන් කිරීම හා සාගර කලාපය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ද දෙරට අතර සබඳතා පවතින බව පෙන්වාදුන් ඒ මහතා උතුරු නැඟෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම, නැවත පදිංචි කිරීම වෙනුවෙන් ද සහාය දී කිබෙන බවද සිහිපත් කළේය.

මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා පැවසූවේ තම ශ්‍රී ලංකා සංචාරයේ දී විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස්, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහත්වරු සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත වූ බවයි.

ඊට අමතරව ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවත්නා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික සිසුන් 650කට අමෙරිකාවේ ශිෂ්‍යත්ව හා අමෙරිකාවේ සිසුන් 380කට ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්වද ලබා දී තිබෙන බවයි. පර්යේෂකයන්, ගුරුවරුන් මෙන්ම ශිෂ්‍යයන් ද එම කණ්ඩායමට ඇතුළත් බව හෙතෙම පෙන්වා දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා