සැමියාගේ අනියම් සම්බන්ධය නතර කර දෙන්නැයි බිරියගෙන් පොලිසියට පැමිණිල්ලක්

සැමියාගේ අනියම් සම්බන්ධය නතර කර දෙන්නැයි බිරියගෙන් පොලිසියට පැමිණිල්ලක්

සැමියා තවත් කාන්තාවක් සමඟ ඇයි හොඳයිකම් පවත්වනවා යැයි 64 හැවිරිදි සිවුදරු මවක් කුරුණෑගල පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිල්ලක් කළාය.

සුළු පැමිණිලි අංශයේ කාන්තා පොලිස් කොස්තාපල් පද්මකාන්ති විසින් මෙම පැමිණිල්ල සටහන් කර ගත්තාය.

තම සැමියා අල්ලපු ගමේ කාන්තාවක් සමඟ සම්බන්ධයක් ඇතිකර ගත් බවත් තමාට සහ දරුවන්ට සලකන්නේ නැතැයිද, සැමියාගේ අනියම් ඇසුර නවතා දෙන ලෙසත් පොලිස් පොතේ සටහන් කර තිබිණි.

ඔහුගේ පෙම්වතියද දරු දෙදෙනෙක් සිටින සැමියා මියගිය 52 හැවිරිදි කාන්තාවකි.

මෙම පැමිණිල්ල සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාගේ අවධානයට යොමු විය. දෙදෙනාටම පොලිසියට එන ලෙස හෙතෙම නියෝග කෙළේය.

දෙදෙනාම පොලිසියට පැමිණියහ. ස්ථානාධිපතිවරයා, ඇයි මේ වගේ දෙකයි පනහේ වැඩ කරන්නෙ. දැන් විවේක ගන්න කාලෙ නේද? දරු මුණුපුරෝ දැකලා ඉන්නෙ. තවත් මනමාලකම ඇරිලා නැහැ යැයි පැවැසීය. ඔහු ලජ්ජාවෙන් වටපිට බැලුවේය.

දැන් ඉතින් යන්න. නැවත ගෑනු පස්සෙ ගියොත් මහ උළු ගෙදර යවනවා යැයි ස්ථානාධිපතිවරයා කීය.

දෙදෙනාම පොලිසියෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක නැගී බස් නැවතුම්පොළ දෙසට ගියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා