ශ්‍රී ලංකාව පරාජය කළ නේපාලය ඉන්දියාව සමඟ අවසන් සටනට

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය

ශ්‍රී ලංකාව පරාජය කළ නේපාලය ඉන්දියාව සමඟ අවසන් සටනට

දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව ගෝල් 3-0කින් පැරදවූ නේපාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ සී.ආර්. පිටියේ ඊයේ පෙරවරුවේ පැවැති අනෙක් අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව ගෝල් 11-0කින් ඇෆ්ගනිස්තානය පරදවා අවසන් මහා තරගයට පිවිසියේය.

ඒ අනුව ඉන්දියාව හා නේපාලය අතර අවසන් මහා තරගය හෙට (16) පස්වරු 3.00ට සී.ආර්.පිටියේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා - නේපාල තරගයේ පළමු භාගයේ ශ්‍රී ලංකාවට ගෝල ලබා ගැනීමේ පහසු අවස්ථා 2ක් මගහැරී ගියේය. පළමු භාගයේ දී නේපාලයටද ගෝල ලබා ගැනීමට නොහැකිවිය.

පළමු භාගයේ දී නේපාලයට දඬුවම් පහරක් එල්ල කිරීමේ අවස්ථාවක් පිරිනැමුණ ද ශ්‍රී ලංකා දැල් රකින්නිය වූ සකුරා සෙව්වන්දි එය දක්ෂ ලෙස ආවරණය කළාය.

තරගයේ 50වැනි මිනිත්තුවේ දී අනු ලාමා ගෝලයක් වාර්තා කළ අතර 70 වැනි මිනිත්තුවේ දී දීපා අධිකාරී හා තරගය නිමාවීමට මිනිත්තු 5ක් ඉතිරිව තිබියදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් නේපාලය දස්කම් දැක්වීය.

මීට පෙර පැවැති තරගාවලියේදිත් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඉන්දියාව සහ නේපාලය වීම විශේෂ සිදුවීමකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා