විනීත රියැදුරන් ඕනෑ කර තිබේ!

විනීත රියැදුරන් ඕනෑ කර තිබේ!

බීමත් රියැදුරන් කොටු කර නීතිය මඟින් කටයුතු කිරීම සඳහා පොලිස් රථවාහන අංශය ගෙන යන වැඩසටහන ඉතා සාර්ථක බව දැනගන්නට ලැබේ. පසුගිය දින කිහිපය තුළ පමණක් බීමත් රියැදුරන් එක්දහස් පනස් හයක් අල්ලා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැ’යි එක්තරා වාර්තාවක පළ වේ. අල්ලාගෙන ඇති අයගෙන් වැඩි පිරිස ත්‍රී රෝද රථ රියැදුරන් හා යතුරුපැදි ධාවකයන් බව ද දැනගන්නට ලැබේ. මේ අය අතර බස්රථ රියැදුරෝ නව දෙනෙක් ද සිටිති. මෙයින් වඩාත් භයානක අපරාධකරුවන් ලෙස සැලකිය හැක්කේ බස්රථ රියැදුරන් නම දෙනා ය.

මිනිසකුට හෝ ගැහැනියකට වෙඩි තබා හෝ ආයුධයකින් ඇන හෝ මරා දමන පුද්ගලයා මිනීමරුවකු ලෙස සලකා එම තැනැත්තා පෝරකය වෙත යවන්නේ වුව ජීවිත ගණනාවක් විනාශ කරන නොසැලකිලිමත් රියැදුරන් මිනීමරුවන් ලෙස සලකන නීතියක් හා සම්ප්‍රදායයක් අපට නැත. එහෙත් තනි පුද්ගලයකු මරා දමන පුද්ගලයාට වඩා භයානක මිනීමරුවකු ලෙස නොසැලකිලිමත් රියැදුරා හැඳින්විය හැකි ය. ඔහු ජීවිත එකක් නොව ගණනාවක් විනාශ කරන සමූහ ඝාතකයෙකි. මෙබඳු පුද්ගලයනට උපරිම දඬුවම් දී ඔවුන් මිනීමරුවන් ලෙස හැඳින්විය යුතු ය.

මීට වසර කිහිපයකට ඉහත දී යාන්ගල්මෝදර සිදු වූ බස්රථ අනතුර කාටත් මතක තිබේ. බස්රථය දුම්රියේ ගැටී වටිනා ජීවිත තිස් ගණනක් ජාතියට අහිමි විය. අදටත් එම පවුල් අනාථ ය. මේ අනතුරට වගකිව යුත්තෝ රියදුරා හා බස් සහායකයා ය. දුම්රිය හරස් මාර්ගයෙන් බසය ධාවනය කර ඇත්තේ ගේට්ටුව වසා තිබිය දී දුම්රිය පෙනි - පෙනී ය. මුළුමනින් ම නොසැලකිල්ල නිසා සිදු වූ මේ අනතුර රටේ කාටත් හොඳ පාඩමකි. එහෙත් මොනතරම් අනතුරු සිදු වුව; ඒවායින් පාඩම් ඉගෙනගන්නා බවක් පෙනෙන්නට නැත. රියැදුරන් නම දෙනකු බීමතින් බස්රථ නමයක් පදවාගෙන යෑමෙන් ඒ බව මොනවට පැහැදිලි වේ.

පෞද්ගලික බස්රථ මහ පාරේ ධාවනය කරනවා නොව ඉගිල්ලෙනවා යැයි කීම වඩාත් නිවැරැදි ය. ඔවුන් මාර්ග නීතිවලට අනුව බසය ධාවනය කරන බවක් පෙනෙන්නට නැත. පෞද්ගලික බස්රථ රියැදුරෝ බලවත් තරගයක නියැලී සිටිති. ඔවුන් ලංගම බසයකට ඉඩ දෙන්නේ ම නැත. ත්‍රි රෝද රථ වැනි කුඩා වාහන ගණන් ගන්නේ ම නැත. කොටින් ම මහපාර තමන්ගේ යැයි සිතමින් තම රථය පදවන අය මේ ක්ෂේත්‍රය තුළ බහුල ය. අධික වේගය, නොසැලකිල්ල පමණක් නොව මගියා තුට්ටුවකට ගණන් නොගැනීමත් පෞද්ගලික බස්රථ රියැදුරන්ගේ සාමාන්‍ය සිරිත ය.

2009ට පෙර ශ්‍රී ලංකාවේ මිනිස් ඝාතනවලට ප්‍රධාන හේතුව වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය යි. ත්‍රස්ත ක්‍රියා නිසා සමූහ ඝාතන සිදු විය. බෝම්බ පිපිරවීම්, ආර්ථික මර්මස්ථානවලට පහර දීම් පමණක් නොව පසුකලෙක පාසල්වලට පහර දීමේ සැකයක්ද පැවැතිණි. ත්‍රස්තවාදය පරාජය කොට එම මරණ භියෙන් සමාජය නිදහස් කරන්නට වත්මන් ආණ්ඩුව සමත් විය. එහෙත් ඒ සමඟම ගොඩනැගුණු තවත් උවදුරක් පෙරට පැමිණියේ ය. එනම්; මාර්ග අනතුරුය. කිසිදු රටක සිදු නො වන තරමේ මාර්ග අනතුරු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ සිදු වේ. මෙය කෙතරම් බලවත් ද යත්; ජනාධිපතිවරයා මේ තත්ත්වය හැඳින්වූයේ මහමඟ ත්‍රස්තවාදය යන විශේෂණයෙන් ය.

මහමඟ ත්‍රස්තවාදයට හේතුව කුමක් ද? විශ්ලේෂණවලට අනුව ප්‍රධාන කරුණු කිහිපයක් දැක්විය හැකි ය. අධික වේගය, මාර්ග නීති නොසලකා ධාවනය කිරීම, බීමත්කම, නිසි පුහුණුවක් නැතිකම, මාර්ග අබලන්වීම, රියැදුරන් අතර පවතින අධික තරගය, අබලන් වාහන මාර්ගයේ ධාවනය කිරීම ඒ අතර පවතී. අධික වේගයෙන් රිය පැදවීම ශ්‍රී ලංකාව තුළ එක්තරා මෝස්තරයක් වී තිබේ. බීමත් ව රිය පැදවීම ද වීරත්වයක් ලෙස සලකනු ලැබේ. මාර්ග නීති නොසලකා හැරීම ද එලෙසම ය. මේ සෑම තත්ත්වයක්ම නීතිය මඟින් නිවැරැදි කළ හැකි ය. ඒ සඳහා මුල් පියවර තැබිය හැක්කේ වරදකරුවාට උපරිම දඬුවම් ලබාදීමෙන් ය. රිය අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට ගමන් කරත් දී පොලීසියට එල්ල වන චෝදනා ද ක්‍රමයෙන් ඉහළ ගියේ ය. පොලිස් නිලධාරින් නීතියට අනුව කටයුතු නොකරන බවට ද, බලසම්පන්න පුද්ගලයන් ඉදිරියේ නිහඬ ව සිටින බවට ද චෝදනා එල්ල විය. මෙහි යම් සත්‍යතාවක් තිබෙන්නට පුළුවන් වුව පොලිස් රථවාහන අංශයේ සේවාව ලඝු කර දැක්විය නො හැකි ය. මහමඟ අව්වට - වැස්සට හසුවෙමින් තම රාජකාරිය ඉටු කරන පොලිස් නිලධාරීන් නො වන්නට රිය අනතුරු සංඛ්‍යාව තව කිහිප ගුණයකින් ඉහළ යෑම නොවැළැක්විය හැකි ය. බලවත් පුද්ගලයන් ද නීතියට එකඟව රිය පැදවීමට විනයක් ඇති කර ගත යුතුය. නීතිය සියල්ලට ඉහළින් පවතී යන කියමන මෙහිදී වැදගත් වේ.

පොලිසිය පවසන ලෙස නූතන ශ්‍රී ලංකාවේ රියැදුරන් සඳහා ලකුණු ලබාදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබේ. එවිට ඔහුගේ රියැදුරු බලපත්‍රයෙහි පෙර වැරැදි සටහන් වනු ඇත. මේ අනුව උපරිම වැරැදි ප්‍රමාණයක් සටහන් කරගන්නා රියැදුරාගේ බලපත්‍රය අහෝසි කරනු ලැබේ. වරද සමූහයෙහි බරපතළකම අනුව ජීවිත කාලයට ම රිය පැදවීම තහනම් වන්නට පුළුවන. ඇතැම් විට සුළු කාලයක් සඳහා තහනම් වන්නට පුළුවන. මෙය ඉතා සාර්ථක ක්‍රමයක් බව පෙනී යයි. එකක් නම්; යම් රියැදුරකු වරදක් කොට අසු වූ පසු; ඔහුගේ පෙර වැරැදි පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලැබීම ය. අනෙක රියැදුරාගේ කල් ක්‍රියාවන් පිළිබඳ තක්සේරුවක් කිරීමට හැකිවීම ය.

මෙහි දී සැලැකිල්ලට ලක් විය යුතු තවත් වැදගත් සාධකයක් තිබේ. එනම් ; සියලුම රියැදුරන් සඳහා හොඳ පුහුණුවක් හා අධ්‍යාපනයක් ලබාදීම ය. දැනුම අඩුකම නිසා ම විනය පිරිහෙන අවස්ථා දකින්නට ලැබේ. අනෙක් කාරණය වන්නේ, සෙසු පුද්ගලයාට ගරු කිරීමට අනෙක් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ගැන සිතන්නට රියැදුරන් පුරුදුවීම ය. අධ්‍යාපනයෙන් හා පුහුණුවෙන් එය ඇති කළ හැකි ය. පොදුවේ ගත් කල; සමාජ සාරධර්මවල යම් බිඳවැටීමක් තිබේ. අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් එතැන ද තිබේ. කුමක් වුව රියැදුරා යනු තවත් ජීවිත ගණනාවක් තම දෑතෙහි රඳවාගත් පුද්ගලයෙකි. ඔහුගේ වගකීම බැරෑරුම් ය. එම තත්ත්වය වටහා දිය හැකි අධ්‍යාපනයක් රියැදුරාට ලබා දිය යුතුය.

රියැදුරා සෙසු සමාජයෙන් පළිගන්නා තැනැත්තකු නොවිය යුතුය. ඔහු සිය වගකීම නිසි ලෙස ඉටු කරන වැදගත් හා ගැඹුරු මිනිසකු විය යුතුය. රියැදුරන්ගේ ආකල්පවල වෙනසක් ද ඇති විය යුතු ව තිබේ. ඒ සියල්ලටම සාධාරණ විසැඳුමක්; අලුත් නීතිවලින් ගෙන ආ හැකි ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා