ජ.වි.පෙ විහිළු තහළු සහ  විනෝද සමය

ජ.වි.පෙ විහිළු තහළු සහ  විනෝද සමය

 

එදා එජාප ආණ්ඩුවත්, ජ.වි.පෙරමුණත් හරි හරියට තරගයට මිනී මැරූහ. ශ්‍රී ලංකා ඉතිහාසයේ නොව ලෝක ඉතිහාසයේවත් සිදු නොකළ තරමට ම්ලේච්ඡ ඝාතන සිදුකොට රට පරාජයට පත් කළේ ද ජනතා විමුක්ති පෙරමුණයි. රටේ සිටිය යුතු අහිංසක කලාකරුවන්, විද්වතුන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් මරා දැමුවේද ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි සංවිධානයයි.

පළාත් සභා තුනේ ප්‍රතිඵල පිටවූ දා පටන් පත්තර සිරස්තල වෙන් වුණේ නැඟෙනහිර මහ ඇමැති පදවියට පත් වන්නේ කවුදැයි යන්න ගැනයි. ඒ පිළිබඳ විවිධ යෝජනා අදහස් පොල්ගෙඩි අකුරින් පළවිය. නැඟෙනහිර පළාත් ඡන්දයේ ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන වැඩියෙන් ලබාගෙන ප්‍රථම ස්ථානයටත්, දෙමළ සන්ධානය දෙවෙනි තැනටත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුන්වෙනි තැනටත් පත්විය. අනෙක් පළාත්වලට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය සිව්වෙනි ස්ථානයට පත්වීම තුළින් එම පක්ෂයට ජනතාව අතර හිමි තැන ප්‍රදර්ශනය කෙරුණි.

මැතිවරණ ප්‍රතිඵල ගැනත් නැෙඟනහිර මහ ඇමැති තනතුරට කෙනකු පත් කිරීම ගැනත් එක්සත් ජාතික පක්ෂය පළ කළ අදහස් එතරම් ගණන් ගතයුතු නොවන්නේ එම පක්ෂයේ අය එකිනෙකට පටහැනි අදහස් පළ කිරීම නිසාය. දෙමළ ජාතික සන්ධානයේ ආර්.සම්බන්ධන් මුස්ලිම් කොංග්‍රසයට මහ ඇමැතිකම පවා පරිත්‍යාග කිරීමට සූදානම් වූ හැටිද අපට මතකය.

“මුස්ලිම් කොංග්‍රසයට මහ ඇමැතිකම දෙන්නට අපි ලෑස්තියි.” කියා ප්‍රකාශ කළ සම්බන්ධන් “ලෑස්තියි” යන වචනය බර කළ හැටි රූපවාහිනී තිරයෙන් අපි බලා සිටියෙමු.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත, භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම, ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඡන්ද සටන අවසන් කළ පසු අනාගත මහ ඇමැතිවරුන් පත්කිරීම ගැන ජනාධිපතිතුමා සමඟ නිරන්තර සාකච්ඡාවෙන් පසුවූහ. හැම දෙයක්ම සාකච්ඡාවෙන් විසැඳීමේ ඍජු ප්‍රතිපත්තියේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මාධ්‍ය මොනවා කීවත් සුපුරුදු පරිදි කලබල වූයේ නැත. මුහුණ දෙන සියලු අර්බුද, ගැටලු, අභියෝග විසඳන හැටි ජනාධිපතිතුමාට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. ඒ අනුව එතුමා ආර්.සම්බන්ධන් සමඟ කතා කළේ ය. රවුෆ් හකීම් සම්බන්ධන් සමඟද කතා කළේ ය. ඊට පසු ජනාධිපතිතුමා කළ යුතු දේ කළේ ය. රවුෆ් හකීම් සන්ධාන ආණ්ඩුවේ ඇමැතිවරයෙකි. ඒ නිසා ඔහු මුලින්ම කළ යුත්තේ ආණ්ඩුව සමඟ සිටිමින් සාකච්ඡා කොට ප්‍රශ්නයට මුහුණ දීමය.

ඒ අනුව ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරයට යාමට පෙර ප්‍රශ්නය විසැඳුවේ ය. මුස්ලිම් මන්ත්‍රීවරයකු වන අබ්දුල් නජීබ් මහ ඇමැති ලෙස දිවුරුම් දුන්නේ ය. හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි ජනාධිපති උපදේශක ලෙස වැඩ භාර ගත්තේ ය. අවුරුදු දෙක හමාරක් නජීබ් මහ ඇමැති තනතුරේ වැඩ කරනු ඇත. ඊට පසු ඊළඟ මන්ත්‍රීවරයාට මහ ඇමැති තනතුර දෙනු ඇත. නජීබ් මහතා මහ ඇමැති පදවියේ හොඳින්ම රාජකාරි කටයුතු කළහොත් ඊළඟ පුද්ගලයා “ඔයා දිගටම කරගන්න” යයි කියනවා ඒකාන්තය. කෙසේ වෙතත් නැඟෙනහිර මහ ඇමැති පත්කොට පළාත් සභාව පිහිටුවීම ඉතාමත් සාමකාමීව සිදු වූ බව පමණක් කිව යුතුය.

ජ.වි.පෙ.විහිළු තහළු

ගුවන් විදුලියේ ජනප්‍රියම විකට වැඩසටහන ලෙස සමස්ත ශ්‍රාවක පිරිසම පිළිගත්තේ විහිළු තහළු සහ විනෝද සමයයි. ඒ වැඩසටහන් දෙකම දැන් නැත. ඒ වැඩසටහන්වලට ළඟින් යන විහිළු වැඩ සටහනක් අද නැත. අද ඒවා නැතිවීම නිසා දැනෙන්නේ විශාල පාළුවකි. ඉඳහිට සිනාසෙන්නට හැකිනම් ප ජනතාවට එය ලොකු සැහැල්ලුවකි.

එහෙත් එච්.ඩී.විජේදාස විහිළු තහළු ලියන්නට අද නැත. ඇල්ප්‍රඩ් පෙරේරා සිටියත් ලියන්නේ නැත. ඒ සියලු අඩුපාඩු සපුරාලන්නට ජනතා විමුක්ති පෙරමුණ සිටී. එම පෙරමුණේ සිටින විහිළුකාරයන් අප සමඟ අමනාප නොවන්නේ නම් අප කියන්නේ අපට දැනෙන යථාර්ථයයි. මෙහිදී අපට කියන්නට ඇත්තේ පළාත් සභා තුනේ ප්‍රතිඵල ගැන ජ.වි.පෙ. නායක සෝමවංශ අමරසිංහ කියන කතාවට සිනාසිය යුත්තේ සතියක් දෙකක් නිවාඩු දමලාය යනුවෙන්ය. ඔහු කියන්නේ ඡන්ද ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ජ.වි.පෙ. නොව රට පරාජය වූ බවයි.

ඡන්ද ප්‍රතිඵල නිසා රට පරාජය වූ බව කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන ඒම නිසා ය. ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් කළ නිසා ය. ජනතා විමුක්ති පෙරමුණ බලයට පත් කළා නම් රට දිනුම් ය. ජනතාව දිනුම් ය. ඒ ගැන අප වැඩිපුර යමක් කියන්නේ නැත. එසේ කී විට සෝමවංශ අමරසිංහට යළිත් බෝට්ටුවක නැගී ඉන්දියන් සාගරය හරහා රට යන්නට සිදුවන නිසා ය.

ජනතා විමුක්ති පෙරමුණ 1971 දී රට පරාජයට පත් කළේ ය. රටට විදේශ විනිමය ගෙන එන තේ කම්හල් ගිනි තබා විනාශ කොට රට පරාජයට පත් කළේ ය. අහිංසක ජනතාවට ගමන් බිමන් යාමට තිබුණ බස් ටික විනාශ කළේ ය. අහිංසක මිනිස්සු මරා දැමූහ.

රට පරාජයට පත් කළා පමණක් නොව රටම අක්‍රීය කොට භීෂණය රජ කරවූයේ 1988 - 89 දීය. කොළ කෑල්ලෙන් ජඩ කොල්ලෝ කඩවල් වැසූහ. තර්ජනය කළහ. මරණ බිය හදවතට ඇතුළු කළහ. ආණ්ඩුවත් ජ.වි.පෙරමුණත් හරි හරියට තරගයට මිනී මැරූහ. ශ්‍රී ලංකා ඉතිහාසයේ නොව ලෝක ඉතිහාසයේවත් සිදු නොකළ තරමට ම්ලේච්ඡ ඝාතන සිදුකොට රට පරාජයට පත් කළේ ද ජනතා විමුක්ති පෙරමුණයි. රටේ සිටිය යුතු අහිංසක කලාකරුවන්, විද්වතුන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයන් මරා දැමුවේද ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි සංවිධානයයි.

ඒ නිසා දැන් කළ යුත්තේ එදා මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වූ පන්ති පහම නැතත් පන්තියක් දෙකක් පවත්වා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කියා දීමය. උද්ධච්ච කතා නවතා පණ්ඩිතකම ආරූඪ කර නොගෙන ජනතා දේශපාලනය කරන හැටි අප වැනි සොක්කන්ට වුවද සෝමවංශ සහෝදරයාට කියා දිය හැකිය.

එස්. එම්. ගේ සහෝදර ප්‍රේමය

ගොවි ජන සේවා සහ වන ජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇමැති පදවියෙන් ඉල්ලා අස් වී ඇත. ඔහුගේ අස්වීම උතුරු මැද මහ ඇමැති තනතුරු හා බැඳී ඇති බව වාර්තා වෙයි. එකම පවුලේ දෙදනකුට ලොකු තනතුරු දෙකක්ම ලබාදීම දේශපාලන වශයෙන් සදාචාරාත්මක නොවන බව එස්. එම්. චන්ද්‍රසේන සිතන්නට ඇත.

ඔහුගේ සොයුරු එස්. එම්. රංජිත් පළාත් සභා මැතිවරණයේදී මනාප ඡන්ද ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලබා ගත්තේය. හිටපු මහ ඇමැති ලබාගත්තේ ඊට අඩු මනාප ප්‍රමාණයකි. මහ ඇමැතිකමට සුදුසුකම මනාපය නම් රංජිත් ඒ සඳහා සුදුසුය. කෙසේ හෝ ඔහුට මහ ඇමැතිකම තවමත් ලබාදී නැත. ජනාධිපති ඉන්දියාවේ සිට පැමිණි විට උතුරු මැද සහ සබරගමුව මහ ඇමැතිවරුන් දිවුරුම් දෙනු ඇත.

එස්. එම්. චන්ද්‍රසේන ඇමැති පදවියෙන් ඉවත්වීම සහෝදර ප්‍රේමය ප්‍රදර්ශනය කෙරෙන විරල අවස්ථාවක් ලෙස සතියක දේශපාලනය සටහන් කර තබයි.

වෙලේ සුදා සහ ට්‍රාන්ස්පේරන්සි

ඔහුගේ නම සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාය. ගල්කිස්ස බඩෝවිටවත්තේ කුඩා ලෑලි කාමරයකින් කුඩු පැකට් කිරීමේ ජාවාරම ආරම්භ කළේය. පොලිසියට වරින් වර ලැබුණ ඔත්තු අනුව වෙලේ සුදා කුඩු ජාවාරම්කාරයකු ලෙස පොලිස් අත්අඩංගුවට පත් වෙයි. පොලිස් ඇප මත නිදහස් වන වෙලේ සුදා කුඩු ව්‍යාපාරය නතර කරන්නේ් නැත. එහෙත් පොලිස් ඇස තියුණු නිසා වසර 2000 සිට වසර 12 ක් තිස්සේ කුඩු ව්‍යාපාරයෙන් කෝටි 200ට අධික මුදලක් උපයා ගත් වෙලේ සුදා සිය බිරිය සමඟ රට පනී.

වසර 12කට පසුව වෙලේ සුදාගේ බිරිය ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ඔත්තුවක් ලැබේ. කටුනායකදී බිරිය පොලිස් අත්අඩංගුවට පත්වෙයි. කුඩු ව්‍යාපාරයෙන් උපයා ගත් රුපියල් කෝටි 200ක ආදායමෙන් මිලට ගත් සියලු දේපළ රාජසන්තක කෙරේ. දැන් වෙලේ සුදාට නඩු පවරා තිබේ.

මේ අතරතුර කතා බහට ලක්වන්නේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් වූ රාජ්‍ය නොවන සංවිධානයයි. රජයේ යහ පාලනය - දේශපාලනයේ විනිවිදභාවය වෙනුවෙන් එම ආයතනය පෙනී සිටී. හොරකම මැරකම දූෂණය වංචාව ආදී සියලු අපචාර ට්‍රාන්ස්පේරන්සි ආයතනය හෙළා දකී. ආණ්ඩුවේ පමණක් නොව සමාජයේ යහ පැවැත්ම දේශපාලකයන්ගේ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින සමාජ හිතවාදී දැවැන්ත ආයතනයක් ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කැපී පෙනේ. එම ආයතනයේ ප්‍රධානියා වන නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා වෙලේ සුදාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින බවද වාර්තා වෙයි. වෙලේ සුදාගේ මානව හිමිකම් ආරක්ෂා කර දීම එසේ පෙනී සිටීමේ අරමුණයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා