දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව අනාගතයට ශක්තිමත් අත්තිවාරමක්

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව අනාගතයට ශක්තිමත් අත්තිවාරමක්

ලක්ෂ්මන් යාපා අබේවර්ධන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති

මේ දිනවල කතාබහට ලක්ව ඇති දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය කුමක්ද, එමඟින් සමාජයට ඉටුවන සේවය කුමක්ද යන්න පිළිබඳ මෙන්ම මේ දෙපාර්තමේන්තුව පිහිටුවීමට එරෙහිව නැඟෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාව ගැන හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව කියන්නේ මොකක්ද? එහි ව්‍යුහය පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් කළ හැකිද?

මේ දෙපාර්තමේන්තුවේ අරමුණ පුද්ගල සහනාධාර ලබාදීමෙන් එපිටට ගිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

එහිදී සමාජ සංවර්ධනයට මඟපාදන ගමන් තමයි දුප්පත්කම තුරන් කිරීමේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙපාර්තමේන්තුව ක්‍රියාවට නඟන්නේ අලුත්ම වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ නව යුගයකට ශක්තිමත් අත්තිවාරමක් දැමීමක් බඳුයි.

මෙහිදී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම අපේ අරමුණයි. ඒ ඉලක්කය සපුරා ගන්නවා කියන්නේ සමාජ සංවර්ධනයට ඉබේම මඟ පෑදීමයි.

දිවි නැඟුම දෙපාර්තමේන්තුව බිහිවීමත් සමඟ සමෘද්ධි සංවර්ධන අධිකාරිය අහෝසි වන බවට ඇතැම් පාර්ශ්ව අදහස් පළ කරනවා. මේ චෝදනා ගැන ඔබේ මතය කුමක්ද?

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව බිහිවන්නේ සමෘද්ධි අධිකාරිය හා දක්‍ෂිණ සංවර්ධන අධිකාරිය එකට එක්කිරීමෙන්. ඒ වගේම මෙහි රාජකාරි කටයුතුවල නියැලී සිටින සේවක සේවිකාවන්ට රජයේ විශ්‍රාම වැටුප් හිමිවෙනවා. එහෙම නැතිව කිසිදු දෙයක් අහෝසි කිරීමක් කරන්නේ නැහැ. සමෘද්ධි බැංකු ප්‍රජා මූල බැංකු බවට පත්වෙනවා.

මේ මගින් සිදුවන තවත් දෙයක් තමයි ග්‍රාමීය සමාජය තවදුරටත් ශක්තිමත් කිරීම. ඒ වගේම ගම සංවර්ධන කටයුතු සඳහා සංවිධානය කිරීමටත් කටයුතු කරනවා. රජයක් ලෙස අපට අවශ්‍යව ඇත්තේ සමාජ සාධාරණත්වය ඇතිකරන අතර දුගියා හැමදාම දුගියෙක් විදිහටම සහනාධාර මතම රඳවා නොතැබීමයි. ඒ වැඩපිළිවෙළ තමයි දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන්නේ.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් ඇතිවන පහසුකම් මොනවාද?

මෙහි මූලික අරමුණු වන්නේ ප්‍රජා මූල සංවිධානවලට අවශ්‍ය පහසුකම් සැපයීමයි. ආහාර සුරක්‍ෂිතතාවය ඇතිකිරීම හා දිවි නැඟුම ප්‍රජා මූල්‍ය සංවිධාන බිහිකර දිස්ත්‍රික් මට්ටමේ හා පළාත් මට්ටමේ ශුද්‍ර බැංකු ජාලයක් ඇතිකිරීම තවත් අරමුණක්. ඒ වගේම සමාජ ආරක්‍ෂණ ජාලයක් ඇතිකිරීමත් මෙහි තවත් අරමුණක් වෙලා තිබෙනවා.

ගම් මට්ටමේ ජනතාවගේ නිෂ්පාදන අලෙවිකරණය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙහි ඇති තවත් වැදගත් සේවයක්. මේ මා සඳහන් කළේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු ලැබෙන ප්‍රතිලාභ ස්වල්පයක් පමණයි. මට මේ කාර්යයේදී පෙන්වා දීමට ඇති එකම දේ වන්නේ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙරට අඩු පහසුකම් සහිත දුප්පත් ජනතාවට විශාල සේවයක් සැපයීමට පුළුවන්කම ඇතැයි කියා පමණයි.

රජයක් ලෙස අපට අවශ්‍යව ඇත්තේ සමාජ සාධාරණත්වය

ඇතිකරන අතර දුගියා හැමදාම දුගියෙක් විදිහටම සහනාධාර මතම රඳවා නොතැබීමයි. ඒ වැඩපිළිවෙළ තමයි දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන්නේ.

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳව පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් කරුණු දක්වා තිබෙනවා. මේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද?

අප ශ්‍රේෂ්ඨාධිකරණය පළකළ මතයට ගරු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයේ සඳහන් වන්නේ මේ දිවි නැඟුම දෙපාර්තමේන්තුව මඟින් පළාත් සභා විෂය පථයේ ඇතුළත් කාර්යයන් ද තිබෙන බවයි.

පළාත් සභාවලදී අපට මේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳ පනත සම්මත කර ගැනීමට අවශ්‍ය බහුතර සහාය තිබෙනවා. අධිකරණය මත පළකර ඇත්තේ මුලින් පළාත් සභා මඟින් දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිළිබඳ පනත සම්මත කර ගන්නා ලෙසයි. පාර්ලිමේන්තුවේදිත් අපට අවශ්‍යනම් තුනෙන් දෙකක බහුතරයක් ඇතිව සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති සඳහන් කරන්නේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් සමෘද්ධි සංවර්ධන අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරය අනතුරේ වැටී ඇති බවයි. මේ චෝදනා ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිතියට ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. නිලධාරින් අතර හෝ සමෘද්ධිලාභීන් අතර ඔවුන්ට බලයක් හෝ ශක්තියක් නැහැ. අද මේ වෘත්තිය සමිතියට අවශ්‍ය වෙලා තිබෙන්නෙත් ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය කරන දේම පමණයි. එනම් කුමක් හෝ ක්ෂේත්‍රයක් අවුල් කර තමන්ට අවශ්‍ය දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමයි. ඔවුන් කියන විදිහේ කිසිදු හානියක් මෙම දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සිදුවන්නේ නැහැ.

ඒ වගේම මේ වෘත්තිය සමිතිය, සමෘද්ධි නිලධාරින්ගේ යහපත වෙනුවෙන් ගත් කිසිදු පියවරක් නැහැ.

මීට අවුරුදු දෙකකට පෙර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ක්‍රියාත්මක කළ දිවිනැඟුම ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය හා එයට ජනතාවගෙන් ලැබුණ ප්‍රතිචාරය මොන වගේද?

මෙයට පෙර තිබූ තත්ත්වය අනුව ගෙවතු වගාවට ඉතාමත් පහළ උනන්දුවක් තිබුණේ. ඒත් දිවිනැඟුමත් සමඟ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අද සෑම ගමකම වගාව පිළිබඳව ගෙවත්ත පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවෙලා තිබෙනවා.

සෑම ගමකම දිවි නැඟුම වැඩපිළිවෙළට පවුල් සියයක් පමණ සම්බන්ධ කර ගෙන තිබෙනවා. පසුගිය අවුරුද්දේදී එළවළු මිල විශාල ලෙස පහළ ගියා. එයට හේතු වුණේ දිවි නැඟුම ව්‍යාපාරය සාර්ථක වීමයි.

අද ලෝකයේ ප්‍රධාන අර්බුදයක් විදිහට මතුෙවමින් පවතින්නේ ආහාර පිළිබඳ අර්බුදයයි. ලෝක තත්ත්වය අනුව ඉදිරියේදී බොහෝ රටවල ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා.

එහෙත් මට ස්ථිරවම කියන්න පුළුවන් එක් දෙයක් තිබෙනවා. අපේ රටේ නම් ඒ විදිහේ ආහාර අර්බුදයක් ඇතිවෙන්නේ නැහැ. මේ වනවිට අපි පිටරටින් හාල් ආනයනය කරන්නේ නැහැ. සහල් අතිරික්තයක් අප සතුයි. අනෙක් ආහාර භෝග වුණත් එහෙමයි. එයට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙන්නේ දිවිනැඟුම මඟින් ආහාර භෝග එළවළු වගාව වැනි දේ ගැන උනන්දුවක් ඇති වීමයි.

අප දැන් ඔබේ විෂය පථයෙන් බැහැර වී සාමාන්‍ය දේශපාලනය ගැන කතා කරමු. පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය ගැන ඔබේ අදහස මොන වගේද?

විපක්ෂයේ විවිධ බොරු ප්‍රචාර බොරු මතවාද බැහැර කර ජනතාව ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉතාමත් ඉහළින් පිළිගෙන තිබෙනවා. සංවර්ධනය සමාජය ගොඩනැඟීම ඇතුළු යහපත් දිශාවකට රට යොමු කිරීමට මේ ආණ්ඩුවට පුළුවන් වෙලා තිබෙනවා.

ජනතාව එය අති බහුතර ජන මතයකින් පිළිගෙන තිබෙනවා. නැඟෙනහිරදී පවා නිදහස් සන්ධානය තනි පක්ෂයක් ලෙස වැඩිම ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළා. ඒ නිසා තමයි මා කියන්නේ ජාති ආගම් භේදයෙන් තොරව ජනතාව රජයේ වැඩපිළිවෙළ අනුමත කළා කියලා.

සාකච්ඡා කෙළේ

උදිත ගුණවර්ධන

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා