බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ 25ක් අරන් රැකවල්ලු 50ක් එති

බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කළ 25ක් අරන් රැකවල්ලු 50ක් එති

පිරිමි 21-කාන්තාවෝ 4යි එක්කෙනාට දෙන්නයි

විසි පස් දෙනාගෙන්ම සී.අයි.ඩිය ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට දැන් තර්ජනයක් නෑ

බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා රැඳී සිටියදී පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ 50 දෙනකු මෙරටට පැමිණ තිබේ. බ්‍රිතාන්‍යයේ රැකවල් පතා සිටි ශ්‍රී ලාංකික සරණාගතයන් හැටක පමණ පිරිසක් පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබූ අතර එම පිරිසෙන් මෙරටට පැමිණ ඇත්තේ 25 දෙනෙක් පමණි.

බ්ලූ පැනරෝමා බී. පී. ඒ 8882 ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලැබූ ‍මේ සරණාගතයන්ගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඊයේ (20) උදෑසන මෙරටට ළඟාවූ 25 දෙනකුගෙන් යුතු පිරිසේ පිරිමින් 21 දෙනකුද ස්ත්‍රීන් 4 දෙනකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

එරටදීම නීතිමය කටයුතුවලට මැදිහත්වීම නිසා අනෙක් පිරිස අවසාන මොහොතේ වාරණ නියෝග ලබාගෙන යළි රැඳී සිටීමට සමත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෙම පිරිස් මඩකළපුව, අම්පාර, ත්‍රීකුණාමලය හා කුරුණෑගල යන ප්‍ර‍දේශවල පදිංචිකරුවන් සිටින අතර දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මෙම පිරිස පිටත් කොට හරින බව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් නිවේදනය කර තිබිණි.

මේවන විට ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව හා නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බැවින් මෙම පිරිස පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බව බ්‍රිතාන්‍ය පවසා තිබිණ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා