රියැදුරු බලපත්‍ර අත්හිටුවීම ගැටලුවක්

උසාවි නියෝගවල අනන්‍යතාව තහවුරු කර නෑ

රියැදුරු බලපත්‍ර අත්හිටුවීම ගැටලුවක්

කොතෙක් දැනුවත් කළත් පලක් නැහැ

මෝටර් රථ දෙපාර්තමේන්තුව කියයි

අධිකරණ තීන්දු මත අත්හිටවූ (Blacklist) රියැදුරු බලපත්‍රවලට අදාළ නියෝග ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව දඬුවම් හිමි ඇතැම් රියැදුරන්ගේ රියැදුරු බලපත් අත්හිටුවීමේ නියෝග ක්‍රියාත්මක කිරීම එම දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ. බොහෝ කාලයක සිට රටේ බොහෝ උසාවිවලින් එවන නියෝගවල මේ අඩුපාඩුව පවතින බව ඔවුහු පවසති.

දෙපාර්තමේන්තුව මගින් එම නිලධාරීන්ට මේ පිළිබඳව වරින්වර දැනුම්වත් කර ඇතත් තවදුරටත් එම වැරැද්දම සිදුවෙමින් පවතී.

මාර්ග නීති කැඩීම, බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රවල විවිධ අඩුපාඩු, මාරක රිය අනතුරු සිදුකිරීම ඇතුළු විවිධ වැරැදි සඳහා අධිකරණය රියැදුරු බලපත්‍ර අත්හිටුවයි. මාස තුන, මාස හය, එක් වසර, වසර තුන සහ ජීවිතාන්තය දක්වා රියැදුරු බලපත්‍ර අත්හිටුවීම ද එම දඬුවම් අතර වෙයි.

අධිකරණයෙන් දෙන දඬුවම්වලට අදාළ රියැදුරු බලපත්‍රයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි. අධිකරණවල රෙජිස්ට්‍රාර්ගේ අස්සන ඇතිව දඬුවමට අදාළ නියෝගය ;දපාර්තමේන්තුව වෙත එවයි.

එසේ එවන නියෝගවල අදාළ රියැදුරාගේ නම, ගම, ලිපිනය සඳහන්ව තිබුණත් රියැදුරු බලපත් අංකය සහ හැඳුනුම්පත් අංකය සඳහන් කිරීම එම නියෝගය සකස් කරන නිලධාරීන් අතපසු කර ඇත. ඉහත කී අංක දෙකෙන් එකක් හෝ නොමැතිව රියැදුරු බලපත්‍රය අත්හිටුවීම කළ නොහැක. එමනිසා අත්හිටුවීම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හෝ ක්‍රියාත්මක නොකරම සිටීමට ද සිදුවී තිබේ.

වැරැදි කර අධිකරණවලින් අත්හිටුවන රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව වසරකට 3000 ත් 5000 අතර ප්‍රමාණයකි. අඩුම වශයෙන් මසකට රියැදුරු බලපත්‍ර 200 ක් පමණ අධිකරණ හේතු මත අත්හිටුවීමට ලක්වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා