‘ලංකා ඊ නිවුස්’ ට එරෙහි ලේක්හවුස් නඩුව දෙසැ.12

 මිලියන සියයක් වන්දි ඉල්ලූ

‘ලංකා ඊ නිවුස්’ ට එරෙහි ලේක්හවුස් නඩුව දෙසැ.12

ද්වේශ සහගත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකිරීමෙන් සිදු වූ අගතියට රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම “ලංකා ඊ නිවුස්” වෙබ් අඩවියට විරුද්ධව පැවරූ නඩුව දෙසැම්බර් 12 දින විභාගයට ගන්නා බව කොළඹ දිසා අධිකරණය ඊයේ (20) දන්වා සිටියේ ය.

මේ නඩුව ඊයේ (20) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවූ අතර නඩු විභාගයට වෙනත් දිනයක් නියම කරන ලෙසට දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව නඩුවේ විභාගය එදිනට නියම කෙරිණි.

ලේක්හවුස් ආයතනය මඟින් ලංකා ඊ නිවුස් කර්තෘ හා හිමිකරු වන ඩී. පී. සඳරුවන් සේනාධීර, ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් මේ නඩුව පවරා තිබිණි.

2008 ඔක්තෝබර් 15 දින “ලේක්හවුස් මහදැනමුත්තා සහ ගෝලයන්ගේ අලුත් කතාව” යන මැයෙන් ඊ නිවුස් හි පළ වූ පුවතට විරුද්ධව මේ නඩුව 2009 පෙබරවාරි 29 දින පවරන ලදී.

මේ අසත්‍ය ප්‍රවෘත්තිය ද්වේශසහගතව අගතියක් කිරීමේ චේතනාවෙන් ප්‍රසිද්ධ කර ඇති බවත්, එමඟින් පැමිණිලිකාර සමාගමට සිදු වූ හානියට රුපියල් මිලියන සියයක් අයකරදෙන ලෙසත් ඉල්ලා මේ නඩුව පැවැරිණි.=

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා