ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කරමින් ජනපතිවරු හමුවෙති

ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා සවිමත් කරමින් ජනපතිවරු හමුවෙති

ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අතර හමුව ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

අතීතයේ පටන් පැවති ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් අයුරින් පවත්වාගෙන යාම දෙරටේම නායකයන්ගේ යුතුකම සහ වගකීම බව ද මෙහිදී ඉන්දීය ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ඉන්දියා-ශ්‍රී ලංකා ජනාධිපතිවරු අතර නිල හමුව ඊයේ පස්වරුවේ දිල්ලි නුවර රාස්‍රපති භවන්හි දී සිදු විය. රාස්‍රපති භවන් වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ශ්‍රී ලාංකීය දූත පිරිස ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

අනතුරුව රාජ්‍ය නායකයන් අතර නිල සාකච්ඡා ඇරඹිණි. ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ප්‍රශංසනීය බව මෙහිදී සඳහන් කළ ඉන්දීය ජනාධිපතිතුමා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ තමාට මනා අවබෝධයක් ඇති බව ද සඳහන් කළ අතර එම කටයුතු සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම පිළිබඳ සිය සතුට පළ කර සිටියේය. උතුරු පළාතේ 90%ක් පමණ බිම් බෝම්බ ඉවත්කිරීමේ කටයුතු අවසන් කොට එහි නැවත පදිංචි කිරීමේ කටයුතු ද සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ඉන්දීය ජනාධිපතිතුමා ප්‍රසාදය පළ කළේය.

එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ තම සුබ පැතුම් ද පළ කර සිටියේ ය. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ අතීතයේ පටන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා යම් යම් සිද්ධීන් හේතු කොට ගෙන පළුදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි. ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වඩා ශක්තිමත් අයුරින් ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියානු රජයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ඉන්දීය ජනාධිපතිතුමා වෙත සිය ස්තුතිය පළ කර සිටියේ ය.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව පිළිබඳව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා ඉන්දීය ජනාධිපතිතුමා වෙත ඒපිළිබඳ දීර්ඝ ලෙස පැහැදිළි කළේය. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ක්‍රියාවට නංවා ඇති ආකාරය පිළිබඳව ද පැහැදිළි කළේය.

පසුගියදා පැවති උතුරුමැද, සබරගමුව සහ නැෙඟනහිර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ විජයග්‍රහණය පිළිබඳව ඉන්දීය ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවිඩය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා නැඟෙනහිර පළාතේ ජනතාව ජාති භේද සහ ආගම් භේද අතහැර රජය සමඟ එක්වී රටේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරලීමට දායක වී ඇති බවද සඳහන් කළේය. එසේම ලබන වසරේ උතුරු පළාත් සභා මැතිවරණය ද පවත්වන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

දකුණු ඉන්දියාවේ සිට ධීවරයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළත්වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී ධීවරයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් මතුව ඇති බවත් අවබෝධයෙන් කටයුතු කරමින් එය විසඳාගත හැකි බවත් පෙන්වා දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, පා.ම. සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා