දිවි නැඟුම පනත පළාත් සභා අනුමතයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමයි

දිවි නැඟුම පනත පළාත් සභා අනුමතයට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගනිමින් දිවිනැඟුම පනත පළාත් සභා අනුමතය සඳහා යොමු කිරීමට රජය සූදානම් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

දිවි නැඟුම පනත පළාත් සභා වෙත යොමු නොකළහොත් එය නීතියක් නොවන බවට තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීමෙන් අනතුවරු රජය මේ පියවර ගත් බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පළාත් සභා අනුමතය ලද වහාම දිවිනැඟුම දෙපාර්තමේන්තුව පිහිටු වීම සඳහා අවශ්‍ය පනත කඩිනමින් පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට යොමු කරන බවද ඇමැතිවරයා කියයි. සමෘද්ධි අධිකාරියේ නිලධාරීන්ගේ සියලුම උසස්වීම් හා වැටුප් ගෙවීම් එළඹෙන මාසය ඇතුළත අවසන් කිරීමට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 450ක් දිස්ත්‍රික්ක වෙත ලබා දී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සමෘද්ධි අධිකාරිය හරහා ජනතාවට ලබා දුන් සේවා නව දෙපාර්තමේන්තුව හරහා ද නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර සමෘද්ධි නිලධාරීන්ට හා උඩරට ගැමි සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය, ගැමි පුනරුත්ථාපන අධිකාරිය යන ආයතනවල සේවය කරන නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ද මේ යටතේ හිමි වේ.

පැරණි පත්වීම් ලබා ගත් දිනයේ සිට ලැබීමට නියමිත අර්ථසාධක මුදල සම්පූර්ණයෙන් ලබා ගැනීමට සියලුම සේවකයන්ට අවස්ථාව සලසන බවත් නව පත්වීම බාර ගත් දිනයේ සිට විශ්‍රාම වැටුපක හිමිකම් ලබන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සේවයෙන් ඉවත් වීමට කැමැති සේවකයන්ට වන්දි මුදලක් ලබා ගැනීමට ද අවස්ථාව ලබා දෙන බවද හෙතෙම කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා