දෙහිවල මහරගම මාර්ගයේ යතුරුපැදි අනතුරකින් කෑගල්ලේ මාර්ග උපදේශකවරයකු මිය ගිහින්

දෙහිවල මහරගම මාර්ගයේ යතුරුපැදි අනතුරකින් කෑගල්ලේ මාර්ග උපදේශකවරයකු මිය ගිහින්

පුතා අනතුරකට ලක්ව ඇති බව නිවෙසට ලැබුණු දුරකථන ඇමතුමකින් දැනගත්තා

කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

උපන් දිනයට නැවත නිවසට එන්නම් කියා නිවෙසින් ගිය පුතා අනතුරකට ලක්වී මිය ගිය බව ඥාති පුතකු දැනුම් දුන්නා යැයි දෙහිවල මහරගම පාරේ බෙල්ලන්විල වතුර බටය අසල පාලමේ ගැටීමෙන් මිය ගිය තරුණයකුගේ මරණ පරීක්ෂණයේදී මිය ගිය අයගේ මව වන ඥානා ආරියරත්න සාක්කි දෙමින් කීවාය.

මෙසේ යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා මිය ගියේ මාර්ග උපදේශකවරයකු වන කෑගල්ල දේවාලේගම නවගමුව පාරේ උරුලෑදෙණිය පදිංචිව සිටි ඉසුරු ජානක ආරියරත්න නැමැති (36) තරුණයෙකි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු එල්. එම්. එස්. රුද්‍රිගුªª මහත්මිය එම රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේදී මේ මරණ පරීක්ෂණය පැවැත්වීය.

එහිදී සාක්කිකාරිය මෙසේද කීවාය. මිය ගොස් සිටින්නේ මාගේ පුතා. අපේ පවුලේ දරුවන් දෙදෙනකු සිටිනවා. පුතා අවිවාහකයි.

කටුබැද්දේ පදිංචි වී සිටියා. පුතා මත්පැන් බොන්නේ නෑ. රාත්‍රි 12ට පමණ බෙල්ලන්විල පන්සල අසලදී සිදු වූ අනතුරකින් මිය ගිය බව දැනගත්තා.

මිය ගිය අයගේ සොහොයුරිය වන කොළඹ 5 කිරුළපන පදිංචි පබසරා ආරියරත්න නැමැත්තිය සාක්කි දෙමින් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ අයියා. පවුලේ අප දෙදෙනා පමණයි සිටියේ. අයියා කලින් මගේ ගෙදර සිටියා. අයියා මිය යන විට කටුබැද්දේ පදිංචිව සිටිය බව දැනගත්තා. අයියා අවිවාහකයි. පෞද්ගලික අංශයේ මාර්ග උපදේශකවරයකු හැටියට සේවය කළා.

සිද්ධිය වූ දින උදේ ලැබුණු දුරකථන ඇමතුමකින් අයියා හදිසි අනතුරකට ලක්වූ බවත් පසුව මිය ගිය බවත් දැන ගත්තා.

අයියා මට දුරකථනයෙන් කතා කරනවා. කටුබැද්දේ නිවෙසට එන ලෙස ආරාධනය කළා. මට යෑමට නොහැකි වුණා. මගේ අයියා යතුරු පැදි වේගයෙන් ධාවනය කරන්නේ නෑ.

මව සාක්කි දෙයි

පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදිර මහතා විසින් පවත්වන ලදී. අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කර තිබු වෛද්‍ය වාර්තාව සහ ප්‍රකාශිත සාක්කි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂිකා රුද්‍රිගු මහත්මිය මේ මරණය යතුරු පැදි අනතුරකින් අධික රුධිර වහනය නිසා ඇතිවූ කම්පනය හා ශරීරයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් වූ හදිසි මරණයක් බවට තීරණය කළාය.

බොරලැස්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන් වික්‍රමසිංහ මහතා සාක්කි මෙහෙයවීය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා