ඇෆ්ගන් කොල්ලන්ගේ තියුණු සටන් මැද ලෝක ශූර ඉන්දියාව ජය ගනී

ඇෆ්ගන් කොල්ලන්ගේ තියුණු සටන් මැද ලෝක ශූර ඉන්දියාව ජය ගනී

ප්‍රින්ස් ගුණසේකර

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පෙරේදා රාත්‍රියේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිමාවූ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර තරගයේදී ඉන්දියාවට ලකුණු 23ක ජයක් හිමිවිය. ටෙස්ට් වරම් දිනා නැති තවමත් ආධුනික මට්ටමේ පසුවන ඇෆ්ගනිස්තානය තියුණු තරගයක් ඉන්දියාවට ලබාදීම ප්‍රශංසනීය වේ.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානයේ ආරාධනාවෙන් පිටියට පිවිසි ඉන්දියාව ඕවර් 20කදී ලකුණු 159ක් ලැබූ අතර ඇෆ්ගනිස්තානය ඕවර් 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තේය.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා භාරත දේශයේ ක්‍රිකට් වීරයෙකු බවට පත්වූ යුවරාජ් සිං පසුව ඇතිවූ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් කෙටි කළක් පිටියෙන් ඉවත්ව සිට එක්වූ මුල්ම ජාත්‍යන්තර තරගය මෙය විය.

ආත්ම විශ්වාසයෙන් බාධක මැඩගෙන ජීවිතය ජයගන්නා හැටි අපූර්ව ලෙස කියෑ පෑ යුවරාජ් පෙරේදා දිනයේ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීම කාගේත් කතා බහට ලක්විය. යුවරාජ් සිං පන්දු යැවීමට කැදවූ වහාම පළමු පන්දුවෙන්ම ඇෆ්ගන් ඉනිමේ ප්‍රහාරාත්මක පිතිකරු නව්රෝස් මන්ගල් ලකුණු 22කට දවාලීම ඉන්දීය ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය විය.

ලකුණකදී ඇෆ්ගනිස්තාන කඩුලු 2ක් බිදවැටීම සැලැස්වූ යුවරාජ්, කරීම් සදීක් ලකුණු 26කට හා ඊළග පන්දුවේදී අස්ගාර් ස්ටැනික් ලකුණු 6ක් ලබා සිටියදී ක්‍රීඩාගාරයට යැවීය. එම කඩුලු දෙක ඉක්මනින් දවා ගැනීම ඉන්දියාවට ජයග්‍රාහී මාවතට ඉක්මනින් පිවිසීමකි.

ඇෆ්ගනිස්තානයේ කඩුලු 3ක් ලකුණු 68කට බිද වැටී සිටියදී පිටියට පිවිසි දකුණත් පිතිකරු මොහොමඩ් නබී පන්දු 17කදී හයේ හා හතරේ පහර දෙක බැගින් ලබා සිටියදී අශ්වීන්ගේ පන්දුවකට දැවී ගියේය. අනෙක් පිතිකරුවන්ට හිස එසවීමට ඉන්දියා පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

පෙරේදා තරගයේ වීරයා බවට පත්වෙමින් එකොළොස්වැනි වැනි විස්සයි 20 තරගයේදී දෙවැනි අර්ධ ශතකය ලැබූ විරාට් කෝලී පන්දු 39කදී හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමග ලකුණු 50ක් ලබා ගත් අතර යුවරාජ් සමග තෙවැනි කඩුල්ලට ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩ නැගීය. එමෙන්ම රයිනා සමග එවැනිම ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කෝලී ඉන්දියා ඉනිමට ජීවයක් ගෙන දුන්නේය.

 ඉන්දියා ආරම්භක පිතිකරු යුගල වූ ගම්බීර්ට හා ෂෙවාග්ට ස්ථවර වීමට ඉඩ නොදුන් වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සද්රාන් පළමු කඩුලු දෙක ලකුණු පුවුරුව 22ක් වෙද්දී දවා ගැනීමට සමත් විය. ලකුණු 18ක් ලැබූ යුවරාජ් සිං දැවැන් හයේ පහරක් එල්ල කළේ තම සුපුරුදු ප්‍රහාරාත්මක රිද්මයට පැමිණෙමින් සිටින ඉගියද සමගිණි.

ඉන්දීය ඉනිමට ලකුණු අවශ්‍යම මොහොතකදී බොහෝ අවස්ථාවලදී තම යුතුකම ඉටුකරන සුරේෂ් රයිනා පෙරේදා දිනයේදී පන්දු 33කදී හතරේ පහර 6ක් සමග ලකුණු 38ක් ලබා ගත්තේය.

නායක එම්.එස්.දෝනී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග නොදැවී ලකු‍ණු 18ක් ලබා ගත්තේය. කෙසේ වුවද ඉන්දියාව අවසන් ඕවර් 10 තුළදී ලකුණු 91 ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් වයිඩ් පන්දු 14ක්ද සමග අතිරේක ලකුණු 16ක් ලබා දීම ඉන්දියාවට කදිම ප්‍රසාද දීමනාවක් බදු විය.

ඉන්දියාව කඩුලු 5කට ලකුණු 159(20)

ගම්බීර් 10,කෝලී 50,යුවරාජ් 18,රයිනා 38,දෝනී නොදැවී 18 (ශාපූර් සද්රාන් 33/2,ඩව්ලට් සද්රාන් 25/1,කරීම් සදීක් 33/1,මොහොමඩ් නබී 35/1)

ඇෆ්ගනිස්තානය ලකුණු 136(19.) නව්රෝස් මන්ගල් 22, කරීම් සදීක් 26,මොහොමඩ් නබී 31(බලාජී 19/3,යුවරාජ් 24/3,අශ්වින් 20/2,පතාන් 29/1)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා