වයිකෝගේ පුස් වෙඩිල්ල!

වයිකෝගේ පුස් වෙඩිල්ල!

ජාතිවාදීන් නැති රටක් සොයා ගැනීම දුෂ්කර ය. එහෙව් රාජ්‍යයක් ලොව කොතැනකවත් නැතැ’යි කීම යුක්ති සහගත ය. ඒ අතර උන්මාදයෙන් මෙන් ජාතිවාදය වපුරන හා ඒ මතින් විනාශය කරා ඇදී යන කල්ලි කණ්ඩායම් ඇති රටවල් ද තිබේ. ඉන්දියාව මේ අතින් ප්‍රමුඛ ය. ඉන්දියාව හෙවත් මහා භාරතය තුළ බුද්ධිමත් නායකයන්, වැදගත් දේශපාලකයන් සේම විශිෂ්ට ශාස්ත්‍රඥයන් ද සිටින බව අපි දනිමු. එම පිරිස අතරම ජාතිවාදී උන්මත්තකයෝ ද සිටිති. වයිකෝ, නැදුමරන්, සීමන් ආදී නම්වලින් හඳුන්වන ඉන්දීය කලහකාරයන් ඊට දිය හැකි හොඳම ජීවමාන නිදසුන ලෙස පවතී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ව සිටි අතර අද ආපසු සියරට බලා පැමිණේ. මේ නිල සංචාරයේ දී රාජ්‍යයන් දෙකට ම වැදගත් නිල සාකච්ඡා කිහිපයක් පැවැත්විණි. ඒ අතර අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලයයක් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබිණි. මෙයින් වඩාත් වැදගත් වන්නේ අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලයයක් ඇති කිරීම ය. එහි දී ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් හිමි කර දෙමින් රාජ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහභාගී කරගත්තේ ය. ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ ද මහින්ද රාජපක්ෂ මහතා ය.

ආසියාවේ බෞද්ධ රටවල් ගණනාවක් මේ උත්සවයට සහභාගී විය. භූතානය, නේපාලය, මියන්මාරය, තායිලන්තය, ජපානය, මොන්ගෝලියාව, කාම්බෝජය ඒ අතර තිබිණි. බෞද්ධ අධ්‍යාපනය හා ඊට අදාළ පර්යේෂණ ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. එහි දී ඉතා ප්‍රමුඛ තැනක් ශ්‍රී ලංකාවට හිමි වේ. එබැවින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට ඉතා ඉහළ පිළිගැනීමක් ලැබී තිබිණි. ඉන්දියාවේ ඇතැම් දේශපාලකයන්ගේ මතයට අනුව මහින්ද රාජපක්ෂ මහතා වාසනාවන්ත හා විශිෂ්ට රාජ්‍ය නායකයෙකි. ඉන්දියාවේ රාෂ්ඨපති මන්දිරයේ පැවැති පිළිගැනීම්වලින් ද ඒ බව මොනවට පැහැදිලි වේ.

ඉන්දියාවේ ප්‍රබුද්ධ දේශපාලකයන්ගේ හා බුද්ධිමතුන්ගේ පිළිගැනීම ඉතා ඉහළ මට්ටමකින් පැවැතියේ වුව වයිකෝ ඇතුළු පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය චාරිකාවට විරෝධ පෑහ. ඔහු තමිල්නාඩුවේ සිට තවත් පිරිසක් ද රැගෙන මධ්‍ය ප්‍රදේශ් දක්වා ගමන් කළහ. ඒ සාංචියේ පැවැති උත්සවයේ දී කලබලයක් ඇති කිරීම සඳහා ය. එහෙත් ඔහුගේ ප්‍රයත්නය සාර්ථක වූයේ නැත. වයිකෝගේ ගමන පොලිසිය විසින් නවත්වන ලදී. ඔහු ඇතුළු පිරිසට සාංචි ප්‍රදේශය තහනම් විය. ඒ හැරෙන්නට නිල උත්සවය සඳහා දැඩි ආරක්ෂාවක් ද සපයා තිබිණි.

වයිකෝ යනු කොටි හිතවාදියෙකි. ඔහු කිහිපවරක් හොර රහසේ ම ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන් හමු වී ඇත. කොටි සංවිධානය පැවැති සමයේ එම සංවිධානය සතු මුදල් වයිකෝ වැනි අන්තවාදීනට ලබා දී ඇත. වයිකෝ, නැදුමරන්, සීමන් වැනි අය පෙරළා කොටි සංවිධානයට වෙනත් උපකාර කර ඇත. කොටි සංවිධානයේ මෙන්ම වයිකෝ වැනි පුද්ගලයන්ගේද ඉලක්කය ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම ය. ඒ ඔස්සේ තමිල්නාඩුවේ ද වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීම ය. මේ සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ද ලැබේ. තමිල්නාඩුවේ ජීවත්වන කෝටි හතකට වැඩි අහිංසක දෙමළ ජනයා මේ ප්‍රයත්නයට ඈඳාගැනීම දෙමළ ජාතිවාදීන්ගේ තවත් එක් උපායමාර්ගයෙකි.

ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව මේ තත්ත්වය හමුවේ ඉතා බුද්ධිමත් ලෙස කටයුතු කරනු දකින්නට ලැබේ. අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා බුද්ධිමත් දේශපාලකයෙකි. ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා ජාතිවාදයට ඉඩක් නොදෙන විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. කොංග්‍රස් ආණ්ඩුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනුයේ සාම්ප්‍රදායික මිත්‍රත්වයට මුල්තැනක් ලබා දෙමින් ය. ඉන්දියාවේ කුමන ආණ්ඩුවක් පිහිටවූයේ වුව ජාතිවාදයට තැනක් ලබා දේ යැයි සිතිය නො හැකි ය. වයිකෝ වැනි අන්තවාදී පුද්ගලයනට අවනත වුවහොත් ඉන්දියාව කැබලි වී රාජ්‍යයන් ගණනාවක් බිහිවනු ඇත. මේ යථාර්ථය දන්නා කිසිදු දේශපාලන නායකයෙක් ජාතිවාදයට ඉඩ තබන්නේ නැත.

ඉතා ප්‍රබල ලෙස මතු වූයේ නැති වුව; ශශ්‍රී ලංකාවේ ද ජාතිවාදය හා ආගම්වාදය පවතී. එහෙත් බුද්ධිමත් හා යුක්ති සහගත රාජ්‍ය පාලකයකු ලෙස ; මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදය හා ආගම්වාදය ප්‍රතික්ෂේප කරයි. ඔහු වරක් කියා සිටියේ මේ රටේ සියලු ජාතීන්ගේ නායකයා හා ආරක්ෂකයා තමා බව ය. පන්සල, පල්ලිය, කෝවිල ආරක්ෂා කරන පුද්ගලයා ද තමා බවය. නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ දී ද වරින් - වර ජාතිවාදය හා ආගම්වාදය මතුවීමට අවශ්‍ය මූලබීජ වැපිරිණි. එහෙත් ජනාධිපතිවරයා ඒවා මෝරා වැඩෙන්නට ඉඩ දුන්නේ නැත. එය විශිෂ්ට දේශපාලකයකුගේ ලක්ෂණයකි. ඔහු උතුරට ගිය විට දෙමළ භාෂාවෙන් කතා කරන අතර ඉන්දියාවේ දී හින්දි භාෂාවෙන් කතා කිරීමට ද සූදානම් ය.

ත්‍රස්තවාදය යනු එක් දුෂ්ට බලවේගයකි. ජාතිවාදය යනු තවත් දුෂ්ට බලවේගයකි. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කළා සේම ජාතිවාදය ද ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ජනාධිපතිවරයා බලවත් පරිශ්‍රමයක යෙදෙයි. ඔහුගේ උත්සාහය අවංක හා යුක්ති සහගත - සාධාරණ එකක් බැවින් අභියෝගවලට මුහුණදීමට මහින්ද රාජපක්ෂ මහතා භය නැත. ලන්ඩනයේ ඊළාම්වාදීන් විරෝධතාවක් දක්වන විට ඔහුත් විරෝධතාකරුවන් අතරට ගියේ ය. ඔහු වයිකෝට, නැදුමරන්ට හෝ සීමන්ට බියෙන් තම වැදගත් රාජකාරි අත හරින්නේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සතු විශිෂ්ට ම ගුණාංගය වන්නේ බියෙන් තොරව අභියෝගවලට මුහුණ දීම යි. මීට පෙර රට පාලනය කළ නායකයන් ළඟ එම ගුණාංගය තිබුණේ නැත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා සාම්ප්‍රදායික දීර්ඝකාලීන මිත්‍රත්වය ජාතිවාදී බලවේගවලට බිඳහෙළිය නො හැකි ය. වයිකෝ වැනි ජාතීවාදී පුද්ගලයනට ඉන්දියාවේ බලවත් ම ප්‍රවාහයක් ලෙස නැඟී සිටිය නො හැකි ය. එය කිසිකලෙක ප්‍රතාපවත් බලවේගයක් නො වනු ඇත. ජාතිවාදී බලවේග ක්‍රියා කරනුයේ තාවකාලික පටු වාසි පතා ඔවුන්ගේ පැවැත්මට ය. එයද පරාජය කළ යුතුව තිබේ. බුද්ධිමත් හා යුක්ති සහගත පාලකයන් යටතේ ජාතිවාදයට හෝ ආගම්වාදයට හෝ පැවැතිය නොහැකි ය. මේ අනුව බලන විට වයිකෝ පුස් වෙඩිල්ලකි. නැදුමරන් මෙන් ම සීමන් ද පුස් වෙඩිලිය. ඒවාට බිය විය යුතු නැත.

ජිනීවාහි පැවැත්වෙන විරෝධතාවකට, තමිල්නාඩුවේ පැවැත්වෙන පෙළපාලියකට ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය කඩාකප්පල් කළ නො හැකි ය. ශ්‍රී ලංකාවේ ඊළාම් හිතවාදීන් ද බලා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් මහත් අර්බුදයකට මුහුණ පා පෙරළා සිය රටට එන තෙක්ය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. වයිකෝලාගේ ගෝරනාඩුවට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බිය වන්නේ නැති සේම මහින්ද රාජපක්ෂ මහතා ද බිය වන්නේ නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා