වයිකෝගේ පුස් වෙඩිල්ල!

දින 2500ක ජනපති මෙහෙවර

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ රාජ්‍ය නායකත්වයට අදට (සැප්තැම්බර් 22 දාට) දින 2500ක් සපිරෙන වගයි

හින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් මෙරට රාජ්‍ය නයකත්වයට පත්වී මෙම සැප්තැම්බර් මස 22 දා (අදට) දින 2500 ක් සපිරේ. එකී රාජ්‍ය පාලන කාලසීමාව තුළ ජනාධිපතිතුමා විසින් මෙරට දේශපාලනයට හා ජන ජීවිතයට නව මාවතක් විවර කර දුන් මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සාමය සහ සංවර්ධනය උදෙසා ඉටු කරනු ලැබ ඇති සුවිශාල යුග මෙහෙවර ඇගයීමට මෙම ලිපිය වෙන් වේ.

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ප්‍රතිඵලය වාර්තා කරමින් 2005 නොවැම්බර් මස 17 දා පැවැත් වූ පස්වැනි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.

මෙහිදී ඉදිරිපත් වූ ජනාධිපතිධූරාපේක්ෂකයන් 12 දෙනෙකු අතරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 47,06,366ක් ලබාගත් අතර මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද 4,887,162 ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය. මේ අනුව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පස්වැනි විධායක ජනාධිපතිධූරයට පත්වන අවස්ථාව වන විට අපට තිබුණේ වෙන්වූ රටකි.

සටන් විරාම ගිවිසුම

අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ තානාපතිවරයා හරහා එල්. ටී. ටී. ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමඟ අස්සන් කරන ලද සටන් විරාම අවබෝධතා ගිවිසුමක් අනුව රටේ එල්. ටී. ටී. ඊ.යට අයත් ප්‍රදේශ වෙනම වෙන්කරදී තිබුණි. මෙයින් ත්‍රස්තවාදය මුළු රටටම ව්‍යාප්ත වන්නට විය.

දරුණු ත්‍රස්තවාදයක් පවතිද්දී ජනතාවට කිසිදු හව්හරණක් නොතිබියදී මෙම ඊනියා සටන් විරාම අවබෝධතා ගිවිසුම යටතේ කොටි සංවිධානය වෙනම රාජ්‍යයකට (ඊළාම්) අවශ්‍ය පිඹුරු පත් සකසා ගෙන, නිශ්චිත දේශ සීමා භූමියක් , ඊළාම් හමුදාවක් (ත්‍රිවිධ) පොලිසියක්, ඊළාම් බැංකු, පරිපාලන ඒකක ආදිය පිහිටුවා ගෙන සිටියහ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2005 වසරේ මේ රට භාර ගත්තේ එවැනි පසුබිමක් තුළ බව සියලු දෙනා දන්නා කරුණකි.

එපමණක් නොව, එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව රනිල් වික්‍රමසිංහ මහතාද බොහෝ අවස්ථාවල ප්‍රකාශ කොට තිබූ අතර එල්. ටී. ටී. ඊ.යට යුදමය පරාජයක් කවදාවත් ලබා දිය නොහැකි නිසා ඔවුන්ගේ භූමි සීමාව ඊළාම් රාජ්‍යයකට ලබාදීමට සිදුවන බවට අන්තර්ජාතික වශයෙන්ද මතයක් නිර්මාණය වී තිබුණි.

ත්‍රස්තවාදය නිසා ලක්ෂයකට වැඩි ජීවිත සංඛ්‍යාවක් රටට අහිමිවෙමින් තිබුණි. ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී තිබුණි. උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවලට රාජ්‍ය නිලධාරීන් නො යැවීම නිසා එම ප්‍රදේශවල සංවර්ධනය අඩපණ විය. ජාතික සම්පත් විනාශ වෙමින් තිබිණ. කෙටියෙන් කිවහොත් රටේම පැවතුණේ අරාජික තත්ත්වයකි. මරාගෙන මැරෙන කොටි හමුදාව නිසා ජනතාව මර බියෙන් ජීවත් වූහ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෙවන් වාතාවරණයක් තුළ සිය ධූරයට පත් වී 2005 වසරේ මුල් පාලන මාස හය තුළ එල්. ටී. ටී. ඊය සමඟ සාම සාකච්ඡා පැවැත්වුවත්, එල්.ටී. ටී. ඊ.ය එම සාකච්ඡා මග හැර යාම නිසා අසාර්ථක විය. ඉන්පසු ජනාධිපතිතුමා ත්‍රිවිධ හමුදා ශක්තිමත් කරගැනීමට උත්සුක විය. ඒ අනුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව වගකියන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ධූරයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කෙරිණ.

ඔහු වසර 22ක්ම යුදහමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලෙහි සක්‍රීයව සිටිමින් සටන් වැදුණු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එදා එල්. ටී. ටී. ඊ.යට ජීවය ගෙන දුන් රනිල්ගේ ඊනියා සටන්විරාම අවබෝධතා ගිවිසුම ආරම්භ වී දින 2145කට පසුව එනම් 2008 ජනවාරි මස 02 දා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ගිවිසුම මුළුමනින් ම අක්‍රියකොට අහෝසි කර දමන ලදී. එදා ජනාධිපතිතුමා එසේ නොකළේ නම් අදත් ශ්‍රී ලංකාව දෙකඩ වූ රාජ්‍යයකි. එතුමාගේ රාජ්‍ය පාලන කාළය තුළ සිදු වූ මෙම ඓතිහාසික සංසිද්ධිය කිසිසේත් කිසිවෙකුට අමතක නොවනු ඇත.

යාපනය පුන්නාලෙයි කෝවිල අසළදී යාපනයේ නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා මහතා 1975 - ජූලි මස 28 දා ඝාතනය කරමින් ප්‍රභාකරන් මිනීමරු ත්‍රස්තවාදය ඊළාම් රාජ්‍යයක සිහිනයක පසුවෙමින් ආරම්භ කළේය. ඉන්පසු ඝාතන වැලක් එකදිගට සිදුකරන ලදී. ඒ අවස්ථාව වන විට රාජ්‍ය නායකයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා මේවා ගැනද ස්ථාවරයකට පැමිණියේ නම් එදා හැංගිමුත්තන් ගැසූ ප්‍රභාගේ ළපටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පුළුවන් කම තිබූ බව සඳහන් කළ යුතුමය. ජාතියේ මළගම ඇරැඹීමට ප්‍රභාකරන්ට හැකිවූයේ එදා රාජ්‍යනායකයාගේ අමනෝඥ ක්‍රියා කලාපය නිසාම බව ප්‍රමාද වී හෝ පිළිගැනීමට සිදුව ඇත.

යුද්ධය ඇරැඹේ

උතුරු - දකුණ ජන සබඳතා රැගෙන ගිය යාල්දේවි දුම්රිය එල්. ටී. ටී. ඊය විසින් 1985 ජනවාරි 21 දා පුපුරුවා හැර විනාශ කර දමන ලදී. ද්‍රවිඩ, මුස්ලිම්, සහ සිංහළ ජන නායකයින් හමුදා විරුවන් සහ ජනතාව දහස් ගණනක් ප්‍රභාගේ බිලි පූජාවට ගොදුරු වූහ.

මෙම සියලු ඝාතන සහ අපරාධ පිළිබඳ සංවේදීව සිටි මහින්ද රාජපක්‍ෂ නම් වූ යුග පුරුෂයාණන්ට අවස්ථාව එළැඹියේත්, හමුදා සීරුවෙන් තබා, යුද ශක්තිය වර්ධනය කොට මානුෂීය මෙහෙයුමකට පෙළැඹුණේත් 2006 අප්‍රේල් මාසයේ එල්. ටී. ටී. ඊය මාවිල්ආරු සොරොව්ව වසා දමා ගොවි ජනතාව දහස් ගණනක් අසරණ කළ අවසථාවේය.

මාවිල්ආරු මුල් සටන ජයගෙන, එය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා 2007 ජූලි මාසයේදී තොප්පිගලද අත්පත් කර ගැනීමට හමුදාවට අවකාශ ලබා දුන්නේය. මානුෂික මෙහෙයුම එදා මුළුමනින්ම විජයග්‍රහණය කළේය. 2009 මැයි 19 දා ප්‍රභාකරන්ගේ අවසානය සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාවට තිස් වසරකට පසු සාමයේ අරුණළු උදාකර දෙන්නට මහින්ද රාජපක්‍ෂ රජයට හැකිවිය. මේ එතුමාගේ ධුර කාලයේ ප්‍රධානතම ජාතික මෙහෙවර ලෙස ඉතිහාසයේ සනිටුහන් වී ඇත.

ජනාධිපතිධුරයට මෙතුමා පත්වූ දා සිට මෙම විජයග්‍රහණය දක්වා ‘සටන’ට මුල්තැන දෙමින් රාජ්‍ය පාලනය ගෙන ගියද රටේ සංවර්ධනය උදෙසා කළ යුතු වැඩකොටස කිසිසේත් අමතක නොකළේය. 2006 -2009 කාලපරාසය තුළ ඇතිවූ දේශීය සහ විදේශීය විවිධ අභියෝග ජයගැනීමට විදේශ ප්‍රතිපත්තිය තුළින් රජය ක්‍රියාතක්මක වූ ආකාරය අතිශය ප්‍රශංසනීය වේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද විවිධ ප්‍රතිපත්ති සහ මූලධර්ම ගැන විමර්ශනාත්මකව බලන විට සිහිපත් වනුයේ 2005 නොවැම්බර් මස 19 දා ජනාධිපතිධුරයේ දිවුරුම් දුන් , ‘මහින්ද චින්තන’ ප්‍රකාශය අනුව ජනාධිපතිවරණය තුළ වැඩිම බහුතරයක් රට නොබෙදිය යුතුයැයි කියා සිටි බව කළ ප්‍රකාශයයි. එය යථාර්ථයක් බවට පත්කොට ඇත.

අලුත් ශ්‍රී ලංකාවක දැක්ම යථාර්ථයක් කිරීම සැලසුම් කරමින් ඒ සඳහා මුදල් යොදවමින් දායකත්වය ලබා දෙන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වන්නේද ජනාධිපතිතුමාය. මහින්ද චින්තන සංවර්ධන ක්‍රමෝපාය සැලැස්ම යටතේ රට තුළ ක්‍රියාත්මක කළ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම නව සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ආසියාවේ නැ එන මධ්‍ය ආදායම් සහිත රටක් බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමට පත්කිරීමේ ප්‍රවේශයන් වැඩිකරමින් ශ්‍රී ලංකාව ආසියාවේ ශක්තිමත් පදනමද මේ වන විට රට තුළ ස්ථාපිත කර ඇත. 2009 දී රටට තිරසාර සාමය උදාකරදීමෙන් පසුව රට තුළ ජනාධිපතිතුමා ඇති කළ සමාජ ආර්ථික හා දේශපාලන ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ජයග්‍රහණ මන්ද මෙම පදනම තවදුරටත් සවිමත් කර තිබේ. දිවිනැඟුම, ගම නැඟුම, පුර නැඟුම, කලාපීය සංවර්ධන මධ්‍යස්ථාන අරඹමින් ග්‍රාමීය හා නාගරික සංවර්ධන සබැඳියාව ගොඩනගා තිබේ. මාර්ග සංවර්ධනය දෙස බැලුවහොත් මින් පෙර කවරදාකවත් සිදු නොවූ පරිදි මහා මාර්ග,, අධිවේගී මාර්ග, රැසක් ජනතා අයිතියට පත් කර ඇත. ගමේ පාරවල් බොහොමයක්ම කොන්ක්‍රීට් දමා සකස් කර දී ඇත.

ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩ සටහන දැන් රට පුරා ව්‍යාප්ත කොට ඇත. ධීවර වරායවල් රැසක් ජනතා අයිතියට පත් කරමින් ධීවර ප්‍රජාවගේ දියුණුවට විශාල වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබේ. ජල සම්පාදන දිවයින පුරා ව්‍යාපෘති රැසකින් ආරම්භ වී ඇති අතර උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය යටතේ විශේෂ ව්‍යාපෘති එම පළාත්වලට ලබා දී තිබේ. අගනුවර මනරම් නගරයක් බවට පත් කිරීමට හා ඒ තුළින් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ හා ආර්ථිකය සවිමත් කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. එදා හම්බන්තොට අතිදුෂ්කර ගණයට අයත්වුවත්, අද එම මාගම්පත්තුව ලංකාවේ දෙවන අගනුවර ගණයට ළංවෙමින් විශාල ප්‍රගතියක් සංවර්ධන අංශයෙන් උදාකර දී ඇත.

නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් උදාවීම නිසා ආයෝජකයින් විශාල සංඛ්‍යාවක් හෝටල් සංචාරක නිවාස සහ සංවර්ධන ව්‍යාපෘති රැසකට දායකවී සිටිති. සමස්තයක් වශයෙන් අද පවත්නා දීප ව්‍යාප්ත සංවර්ධන ප්‍රගතිය ජනතාව සියයට සියයක්ම අනුමත කර තිබෙන බව පළාත් සභා මැතිවරණ ජයග්‍ර හණ තුළින් මනාව සහතික කොට ඇත. මේ නොනවතින ගමනක ආරම්භයක් ලෙස විශ්ලේෂකයෝ හඳුන්වා දෙති. දින 2500ක් සපිරෙන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලන තන්ත්‍රයේ ඉදිරි සංවර්ධන ඉලක්කයන් අනුව බලනවිට 2020 වසර වනවිට ‘ආසියාවේ ආශ්චර්ය’ බවට ශ්‍රී ලංකාව පත්වීම නිසැක වශයෙන්ම සිදුවනු නියතය. ඒ ජාතික උසස් අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගනු වස් දෙස් විදෙස් බලපෑම් වලට යට නොවී එකාවන්ව එක්වී සංවර්ධනයේ අරුණාලෝකය දකින්නට කැපවෙමු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා