කිලිනොච්චිය විදුලිබලාගාරය 25 වැනිදා ජනපති අතින් විවෘත වෙයි

කිලිනොච්චිය විදුලිබලාගාරය 25 වැනිදා ජනපති අතින් විවෘත වෙයි

කිලිනොච්චි ග්‍රිඩ් අධිබල දැවැන්ත විදුළි බලාගාරය මේ මස 25 වැනි දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය අර්ධද්වීපයේ දී විවෘත කෙරේ.

මේ යටතේ වව්නියාවේ සිට කිලිනොච්චිය දක්වා සම්ප්‍රේෂණ කුළුණු 238 ක්, ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ ඉදිකර ඇති අතර, ඒ සඳහා වන වියදම රුපියල් මිලියන 3200 කි.

මෙම මුදල ජපානයේ ජයිකා ආයතනයෙන් සහන පොලී යටතේ ලබා දී ඇති අතර දෙවන අදියර යටතේ කිලිනොච්චි සිට චුන්නාකම් දක්වා කිලෝ වෝට්ස් 132 ක අධි සැර මාර්යක් ඉදිකෙරෙමින් පවතී.

2014 න් පසු උතුරු ප්‍රදේශයේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කළ හැකි බව පැවසූ අමාත්‍යවරයා, ලබන වසර මැද වන විට චුන්නාකම් හි ග්‍රීඩ් උපපොල විවෘත කළ හැකි යැයි ද සඳහන් කරයි.

මේ වන විට යාපනය අර්ධද්වීපයේ විදුළි පරිභෝජනය සියයට 95 දක්වා සපුරා ඇති අතර, එහි පාරිභෝගිකයින් සංඛ්‍යාව 22,000 කි.  දැනට ඉන්ධන බලයෙන් විදුළිය නිපදවීම නිසා විදුළිබල මණ්ඩලයට රුපියල් මිලියන 2800 ක පාඩුවක් දැරීමට සිදුව තිබේ.

මේ අනුව වර්ෂයකට එක් පවුලක් සඳහා රුපියල් 22,000 ක් වැයවන බව විදුළිබල මණ්ඩලය සඳහන් කරයි. මෙයට අමතරව උතුරු පළාතේ නැවත පදිංචිවන ජනතාව සඳහා විදුළි බිලක් අය නොකිරීමට ද මණ්ඩලය තීරණය කර තිබේ.

වව්නි‍යාවේ සිට කිලිනොච්චිය හරහා ඉදිකෙරෙන විදුළි සම්ප්‍රේෂණ මාර්ගය ජපාන ආධාර යටතේ දේශීය ඉංජිනේරු තාක්ෂණයෙන් ඉදිකර වසරක් ඇතුළත වැඩ නිම කිරීමට හැකි වී තිබේ.

යාපනයේ සියයට 95 ක් ද, වව්නියාවේ සියයට 75 ක් ද, වව්නියාවේ සියයට 60 ක් හා වන්නියේ සියයට 35 ක විදුළි පරිභෝජනයක් සපුරාලීමට දැනටමත් විදුළිබල මණ්ඩලයට හැකි වී තිබේ.

කොළඹ 03, විදුළිබල අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මේ කරුණු අනාවරණය වූ අතර, මේ අවස්ථාවට විදුළිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නිහාල් වික්‍රමසූරිය, අතිරේක සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති) ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා