නබිනායකතුමාට අපහාස වන ලෙස තැනූ අමෙරිකානු චිත්‍රපටයට රට පුරා විරෝධතා

නබිනායකතුමාට අපහාස වන ලෙස තැනූ අමෙරිකානු චිත්‍රපටයට රට පුරා විරෝධතා

ශුද්ධ වූ නබි නායකතුමාට සහ මුස්ලිම් ජනතාවට අපහාසයක් වන අයුරින් ඇමරිකන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිර්මාණය කර ඇති ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නම් චිත්‍රපටයට විරෝධය පා ඊයේ (21) රටපුරා මුස්ලිම් ජනතාව දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ අනුරුවකට පහර දෙමින් රටේ විවිධ මුස්ලිම් පල්ලි හා සිද්ධස්ථාන ඇසුරේ විරෝධතා පා ගමන් සංවිධානය කර තිබුණි.

සිකුරාදා දිනයේ පල්ලියට රැස්වන මුස්ලිම් බැතිමතුන් දහස් ගණනින් මෙම විරෝධතාවන්ට එක්විය. ඒ අතර වැලිමඩ, සමන්තුරේ ආදී බහුතර මුස්ලිම් ජනතාවක් වෙසෙන ප්‍රදේශවල කඩසාප්පු, බැංකු සහ රජයේ ආයතන පවා වසා දමා උද්ඝෝෂකයෝ මෙම ඇමරිකන් විරෝධී පා ගමනට එක් වූහ.

අක්කරපත්තුව, කල්මුණේ, සමන්තුරේ ඇතුළු ප්‍රධාන නගර ගණනාවක ගමනාගමනයටද මෙම උද්ඝෝෂණයන් නිසා බාධා පැමිණ තිබිණි. කෙසේ වෙතත් මුස්ලිම් පල්ලි ආශි‍්‍රතව රැඳී සිටි පූජක උතුමන්ලාගේ ඉල්ලීම් ද නොසලකා උද්ඝෝෂකයන් ඇමරිකානු විරෝධී ප්‍රකාශයන් කරමින් පාගමනේ යෙදුනහ.

කොළඹ කොල්ලුපිටිය හා ගාලු මුවදොර වටරවුම අතර ප්‍රදේශයද ඊයේ වසා දමා තිබූ අතර මුස්ලිම් ජනතාව සිය විරෝධය පා ලංකා ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා