ජනපති රට බාරගෙන අදට දින 2500යි

ජනපති රට බාරගෙන අදට දින 2500යි

ලොවම මවිත වන පරිද්දෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්කිරීමේ තිර අධිෂ්ඨානය සහිතව රටේ පාලන බලය, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා භාරගෙන අදට (22) හරියටම දින 2500ක් සපිරේ.

කිසි දිනෙක රණබිමේදී කොටි ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීම කළ නොහැකි යැයි අප රටේ ඇතැම් දෙනා පමණක් නොව ලෝකයේ මහ බලවතුන් පවා ප්‍රකාශ කරද්දී, නොබියව අභීතව ත්‍රස්තවාදීන් පරාජයට පත් කිරීම මේ දින 2500 ඇතුළත සිදු කළ මිල කළ නොහැකි කාර්යය වේ.

රටේ පරම සතුරා ද්‍රරිද්‍රතාවයයි. මේ නිසා පීඩා විඳි ජනතාව ඉන් මුදා ගැනීමට සිදු කළ මහා මාර්ග, වරාය, ගුවන්සේවා, සන්නිවේදන, අධ්‍යාපන, සෞඛ්‍ය, ජලසම්පත්, නිවාස, යනාදි භෞතික හා මහජන උපයෝගීතා අංශවල දියුණුවට වැඩිම මුදලක් ආයෝජනය කළ ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය ලබාදුන් ආණ්ඩුව වේ.

වසර 2005 දී සියයට 22 මට්ටමේ තිබු දරිද්‍රතාවය මේ වනවිට සියයට 8.9 දක්වා තුන් ගුණයකට අඩු මට්ටමකට පහත වැටී ඇත්තේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ නිසා බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 64ක් ගත වන තැන ඉහළම ආර්ථික වර්ධනය අත්පත් කර ගත්තේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවෙනි. එය වසර 2010 දී සියයට 8.3ක් විය. වසර 2005 දී රටේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 1000 මට්ටමේ පැවැත්විණි. එය මේ වනවිට ඩොලර් 2836 මට්ටමට වැඩි කොට ඇත.

පිට පිට මාස තුනක් තනි ඉලක්කමේ උද්ධමන වේගයක් අත්පත් කරගෙන තිබේ. විරැකියාව අඩුම පාලන කාලය ඇතිවූයේ ජනාධිපතිතුමාගේ් නායකත්වයෙනි. කොළඹට කිරි - අපට කැකිරි’ කියා පළාත්බද විෂම සංවර්ධනයක් පැවැති යුගය නිමා කොට සියයට 51ක් වූ බස්නාහිර පළාත් ආර්ථික දායකත්වය සියයට 45 දක්වා අඩුවන තරමට සෙසු පළාත් දියුණු කළේ ජනාධිපති තුමාගේ වැඩපිළිවෙළ නිසාය.

මේ රටේ ඕනෑම කෙනෙකුට, බියෙන් හා සැකෙන් තොරව රටේ ඕනෑම ප්‍රදේශයකට යෑමට ඒමට ඇති පරිසරය නිර්මාණය කෙළේ. ජනාධිපතිතුමාගේ පාලනය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්‍ෂ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මහතා කීය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා