කැලණි සරසවි ඇදුරෝ වර්ජනයෙන් ඉවත් වෙති

කැලණි සරසවි ඇදුරෝ වර්ජනයෙන් ඉවත් වෙති

මේ වන විට ක්‍රියාත්මක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අතහැර එයට සහභාගි නොවී තමන් සේවයට වාර්තා කරන බවට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ 201 දෙනකු ඊයේ (21) වන විට එහි උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ 530 දෙනකුගෙන් 70ක් පමණ අධ්‍යයන නිවාඩු මත සිටින බවත් ඉන් ඉතිරිව සිටින 460ක පමණ පිරිසකගෙන් 201 දෙනකු වර්ජනයට සහභාගි නොවී සිටින බවට මෙලෙස තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි උප කුලපතිවරයා “දිනමිණ”ට පැවැසීය.

මේ අතර තමන් වෙත ලැබී ඇති තොරතුරු මත තවත් විශාල පිරිසක් වර්ජනය අත හැර ඉදිරි දින කිහිපයේදී සේවයට වාර්තා කරනු ඇතැයි ඒ මහතා කීය. කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය ආරම්භයේ සිටම මේ වර්ජනයට එක් නොවූ අතර වර්ජනයෙන් ඉවත් වන බවට මේ වන විට දැනුම් දී ඇති ආචාර්යවරුන්ගේ වැඩිම ප්‍රමාණය මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨවල වේ.

මේ අතර මෙරට මෑත කාලයේ පැවැති වර්ජන අතුරින් ජනතා විරෝධය දිනෙන් දිනම වැඩි වූ වර්ජනය මේ වර්ජනය බැව් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා