සාංචි බෞද්ධ සරසවියට ජනාධිපති අතින් මුල්ගල

සාංචි බෞද්ධ සරසවියට ජනාධිපති අතින් මුල්ගල

ඉන්දියාවේ සාංචි නුවර ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්විණි.

භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඉන්දීය මධ්‍යම ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය ශිවරාජ් සිංචෞද්‍රන් සහ ආණ්ඩුකාර රාම් නරේෂ් යෙදෙව්, මධ්‍යම ප්‍රදේශ සංස්කෘතික ඇමැති ලක්ෂ්මිකාන්ත ෂර්මා යන මහත්වරුන් ද ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක දඹදිව සාංචි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා බෞද්ධ සිද්ධස්ථාන පිහිටි ලෝක උරුම නගරයක් වන සාංචිය තුළ පිහිටුවන මෙම සරසවිය බෞද්ධ අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා ආරම්භ කෙරේ. බෞද්ධ පර්යේෂණ සිදු කිරීම, බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි ලබාදීම, ගෘහ නිර්මාණ ශිල්පය, පුරාවිද්‍යාව සහ චිත්‍ර ශිල්පය පිළිබඳ බුද්ධ ධර්මයට අදාළ ඉගැන්වීම් සිදු කිරීම මෙම විශ්ව විද්‍යාලය තුළින් සිදු කෙරේ.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ බෞද්ධ පුස්තකාලයක්ද මීට ඇතුළත්ය. බෞද්ධ අධ්‍යාපනය සාම්ප්‍රදායිකව ලබාදීමේ ක්‍රමවේදයක් ද මෙම විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. සාංචි ප්‍රදේශයේ පුනරුදයක් ඇති කිරීම උදෙසා සම්මන්ත්‍රණ ශාලාවක් සහ ක්‍රීඩා සංකීර්ණයක්ද මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීම හා සමගාමීව ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙම විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ සැලසුම් සඳහා ශ්‍රී ලංකාව දායක වී ඇත. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, පා.ම. සජින් වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඊයේ පෙරවරුවේ සාංචි නුවරට පැමිණි ජනාධිපතිතුමා සාංචි බෞද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගත්තේ ය. විහාරයේ පැවති ආගමික වතාවත්වලින් පසු සාංචි ස්ථූප පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සාංචි ස්ථූපය අසල රෝපණය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. සාංචි බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල් තැබීමේ අවස්ථාව සනිටුහන් කරමින් මෙය සිදු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා