සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි මාලකට සහ රෙහාන්ට ඇප

සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි මාලකට සහ රෙහාන්ට ඇප

යුදහමුදා මේජර්වරයකුට පහරදී තුවාල සිදුකිරීම හා ඔහුගේ ගිනි අවිය හා ජංගම දුරකතනය පැහැර ගැනීම පිළිබඳව සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කැර සිටි මාලක මහේන්ද්‍ර සිල්වා සහ රෙහාන් දනුෂ්ක විජේරත්න යන සැකකරුවන් දෙදෙනා රුපියල් දසලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා ඊයේ (21) නියෝග කෙළේය.

එම ශරීර ඇපයට අමතරව රුපියල් පනස් දහසක මුදල් ඇපද සැකකරුවන් එකිනෙකාට නියම කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරු දින කොම්පඤ්ඤවීදිය පොලිසියට වාර්තා කරන ලෙස ද සැකකරුවන්ට නියම කෙළේය.

යුදහමුදා මේජර්වරයකු වන චන්දන ප්‍රදීප් සුසේන් නමැත්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඉහත කී සැකකරුවන් දෙදෙනා ඇතුළු පස් දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වෙනිදා දක්වා රිමාන්ඩ්භාරයට පත් කරන ලදී.

ඉන්පසු පසුගිය 19 වෙනිදා පැමිණිලිකරු සිය නීතිඥ දිනේෂ් දොඩංගොඩ මහතාගේ මාර්ගයෙන් දවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඉහත නම් සඳහන් සැකකරුවන් තමන්ට පහර දුන්නේ නැති බවත් සමථයකට ඒමට කැමති බවත් කියා සිටියේය.

ඉන්පසු (20 වැනිදා) නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා මෝසමක් ඉදිරිපත් කරමින් නඩුව අද (20 වැනිදා) අධිකරණය හමුවේ අඬගසන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව එම නඩුව පෙරේදා අධිකරණය හමුවේ කැඳ වූ අතර දෙපාර්ශ්වයේ කැමැත්ත අනුව මෙම නඩුව යළි පෙරදිනට (21 දාට) නියම කෙරිණි.

ඒ අනුව මෙම නඩුව ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී මුලින්ම පැමිණිලිකරු ප්‍රකාශයක් කරමින් අධිකරණයේ පෙනී සිටින සැකකරුවන් දෙදෙනා තමන්ට පහර දුන්නේ නැති බවත්, පහර කෑමට ලක්වීම නිසා තමා කම්පනයෙන් සිටිමින් පොලිසියට ප්‍රකාශයක් කළ බවත් කීය.

මේ පිළිබඳව පොලිසියෙන් විමසූ විට කොම්පඤ්ඤවීදිය පොලිසිය දන්වා සිටියේ දෙපාර්ශ්වය සමථයකට කැමති නම් ඊට විරුද්ධත්වයක් නැති බවයි. අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පැමිණිලිකරුත් පොලිසියත් සමථයකට කැමැත්ත පළකැර ඇති බැවින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඉහත කී ලෙස ඇප නියම කෙළේය. නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර, නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරු සමග නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ අනිල් සිල්වා සමඟ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

කොළඹ අපරාධ කොට්ඨාසය හා කොම්පඤ්ඤවීදිය පොලිසිය එක්ව පැමිණිල්ල මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා