හොරණ තලගල මිනීමැරුම් නඩුවේ පළමු විත්තිකරු අත්අඩංගුවට ගන්නැයි පානදුර අධිකරණයෙන් වරෙන්තු

හොරණ තලගල මිනීමැරුම් නඩුවේ පළමු විත්තිකරු
අත්අඩංගුවට ගන්නැයි පානදුර අධිකරණයෙන් වරෙන්තු

දෙවැනි විත්තිකරු නිදොස් කොට නිදහස්

පානදුර පළාත්බද මහාධිකරණය හමුවේ විභාග වූ හොරණ තලගල මිනී මැරුම් නඩුවේ පළමුවැනි විත්තිකරු වර්ෂ 2002 මැයි 02 දා මිනීමැරුමක් සිදු කිරීමේ අධිචෝදනාව සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේදී වරදකරු වූ හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා මඟින් විවෘත වරෙන්තුවක් හලාවත මහාධිකරණ විනිසුරු මාලනි ගුණරත්න මහත්මිය 14. 09. 12 දින පානදුර පළාත්බද මහාධිකරණයේදී නිකුත් කළාය.

එම නඩුවේ දෙවැනි විත්තිකරු සියලු අධිචෝදනාවලින් නිදොස් කර නිදහස් කළාය. විත්තිකරුවන් දෙදෙනා අධිචෝදනා ලබා සිටියේ 2002 වසරේ මැයි 2 වැනි දින හොරණ තලගලදී ගයාන් සුමේධ පෙරේරා නැමැත්තාගේ මරණය සිදු කිරීම ගැනය.

දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියවෙන 296 වගන්තිය යටතේ අධිචෝදනා කරමින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීමෙන් පසුව පළමුවැනි විත්තිකරු වරදකරු වී ඇති බවත් ඔහු නඩු විභාගය මග හරිමින් සිටි බවත් විනිසුරුවරිය පැවසුවාය.

අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුව මත මෙම විත්තිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වහාම පානදුර පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද නියෝජ්‍ය පොලිස්පතිවරයාට විනිසුරුවරිය නියෝග කළාය. විත්තිකරු රටින් පිටවීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ අභ්‍යන්තර කටයුතු අධිකාරිවරයා වෙතද දන්වා යැවීමට විනිසුරුවරිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය.

විත්තිකරු විසින් ඔහුගේ බිරියගේ අනියම් සැමියා මරා දැමීමට හේතුවී ඇත්තේ ඔහු විත්තිකරුගේ බිරිය සමඟ ඇතිකරගත් අනියම් සබඳතාවක් විත්තිකරුට හසුවීම නිසා යැයි නඩුවිභාගයේදී අනාවරණය විය. නිදහස් වූ දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සිසිර කොඩිකාර මහතා පෙනී සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා